Type Here to Get Search Results !

හදිසියේම මතුවුණු ‌කොණ්ඩදෙණියේ හිමියන්ගේ රහසිගත ‌ගෝලයා ‘චුට්ටේ’


කෝච්චිය හරස් කළ පාරේ රතු එළියට යට අපි නතරව හිඳිමු’ බටහිර අහස තැඹිලි පාට වී තිබේ. මොක්කුදෝ කුරුල්ලන් රෑනක් පියඹා යයි. නිල්ල සලන තරු මුදුන් එකිනෙකා මොනවදෝ මුමුනයි. කර්කශ කොළ පරිසරයේ කඨෝර බව ටිකෙන් ටික නිවී යයි. අකීකරු ගස්වැල් හිතුමතේ මල් පුබුදයි. දිය මංකඩවල ගමන නවතන්නට කෙනෙක් නැත. ඒ නිසාම මේ පරිසරය වෙනස්ය.
මේ ගමනට මුලක්, මැදක්, අගක් තිබේ.
‘කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ’
‘මව්රට’ උන්වහන්සේ ගැන ලියූ දීර්ඝ ලිපි පෙළ පසුගිය දිනෙක අවසන් විය. ඒ පාඨක ඔබේ උණුසුම් ප්‍රතිචාර මැදය.
නමුත් ඒ ඓතිහාසික පුරාවෘත්තය එතෙකින් නිමා නොවන්නකි. එතෙක් මෙතෙක් කිසිදු මාධ්‍යයකට මුණ නොගැහුණු ‘චුට්ටෙ’ අපි මෙසේ සොයා යමු.
‘කවුද චුට්ටේ?’
අපි ද එය ඔබට කියන්න නොඉවසිල්ලෙන් බලා හිඳිමු.
‘කොණ්ඩදෙණියෙ හාමුදුරුවොත් එක්ක පුංචි කාලෙ හිටපු කෙනෙක් අපේ ගමේ ඉන්නවා.’
කියා අපිට ලැබුණු ඇමැතුම දිගේ අපි සොයා යමින් හිඳිමු.
‘මීරිගමට එන්න’
එතැනින් තවත් රේල්වේ ක්‍රොසින් එකක් තියෙනවා.
ඊට පස්සෙ කණ්ඩලම හන්දිය, කණ්ඩලම හන්දියෙන් වමට හැරිලා සිංහ හාඞ්වෙයාර් එක, ඕන නම් අහන්න කීර්ති අයියගෙ හාඞ්වෙයාර් එක කියලා’
අපි මේ හොයාගෙන යන්නේ ඒ හිතවත්කමයි පත්තරයකට, පත්තරකාරයන්ට, පාඨක ආදරය තරම් වටිනා වෙන කිසිවක් නැත.
අපි හරිතැනට යන අතර, ඔහු අපට මුණගැසුණේය. අවුරුදු පනස් පහක් වයස ආපු කඩමණ්ඩියක අපි නතරවුණෙමු. ඒ සුහද පාඨකයා අපිව ආදරයෙන් පිළිගත්තේය. ඔහු දඩිබිඩියේ කඩය වසා අප සමඟ ආවේය. ඒ කඳුමුදුනට ටික ගොඩවෙන්නට වාහනයට වාරු තිබුණේ නැත. කීර්ති අයියාගේ යතුරු පැදියටද එතැන් සිට ටික දුරකින් නවතින්නට සිදුවිය. කන්ද මුදුනට පිළිගත්තේ දෙපා වාරුව පමණි. ඒ කඳුමුදුනේ පුංචි පැලක ‘චුට්ටේ’ දවසරිමින් උන්නේය. මෙතැන් සිට ඇරැඹෙන්නේ ‘චුට්ටේ’ අප සමඟ කී කතාවයි.

“චුට්ටේ….!!!”
කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ මතකයට ඇති එක ජීවමාන සාක්ෂිය ඔහුය. මෙතෙක් කිසිම මාධ්‍යයකට මුණ නොගැසුණ ඔහු සොයා අපි මේ කඳු මුදුනට ගොඩ වුණෙමු.
“මම මහත්තයො ඒ කාලෙ පොඩි කොල්ලා. යාන්තම් කිරිවරලා විතරයි. අම්මා අප්පා නැති වුණා පුංචි කාලෙම. කරන්න දෙයක් තිබ්බෙ නෑ. ඔහෙ පාරට බැහැලා ඇවිද්දා…”
ඔහු කතාව පටන් ගත්තේය. බලාපොරොත්තුවක සේයා මාත්‍රයක්වත් නොවූ ඒ ඇස් ගිලී ගොස්ය. වියළි කල කර්කශ මහ පොළොව ගිල ගත් වැව් පතුලක මතුව ආ දිය කඩිති සේ ඒ දෑස් පතුල් පෙනේ. අව්වටත් වැස්සටත් එක්වන්ව දිරා වැහැරී ගිය කම්මුල් ඉරිතළා තිබේ. ජීවිතයේ බලාපොරොත්තු වියළී ගිය සේ සුදු රැවුල් කොට අතරින් පතරින් මතුව එයි. බුලත් විටටම ගෙවී ගිය දත් ඇඳිවල පාළු කපන්නට මෙන් අතරින් පතර දතක් දෙකක් ඉතිරි වී තිබේ.
“මං පාරට ඇවිල්ලා ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ගියා. එතකොට කවුද මහත්තයෙක් ආවා. ඇවිල්ලා ඇහුවා උඹ කොහෙද යන්නෙ කියලා…”
ඔහු හුස්මක් ගනී. බෙල්ලේ නහර වැල් ඉලිප්පී මතුව එයි. සුසුමේ රිදුම මුහුණේ ඇඳෙයි. නමුත් ඔහු සිනාසෙයි.
“උඹ පන්සලකට යන්න කැමැතිද කියලා ඒ මහත්තයා ඇහුවා…”
“මම හා කිව්වා…”
ඈත කන්දෙන් පෙරළී එන හුළඟ අපේ ඇඟේ වැදී නතර වෙයි. ඔහු හැරමිටිය තදින් අල්ලාගෙන මතක අහුලයි. මම පරණ පුස්කොළ පොතක මැකී යන අකුරක් දෙකක් මතුවෙන තෙක් බලා හිඳිනා පුරාවිද්‍යා නිලධාරියෙක් සේ බලා හිඳිමි. තව තත්පර ගණනනික් චුට්ටේට කොණ්ඩදෙණියේ හාමුදුරුවන් මුණගැසීමට නියමිතය.
“ඉතින් ඒ මහත්තයා මාව එක්කලා ගියා පන්සලකට. කොහෙද කින්ද මන්ද මොනවාවත්ම
“මම දැන ගෙන හිටියෙ නෑ…”
ඊළඟට චුට්ටෙගේ ඇස් දිලිසෙයි. හිඳී බොරව ගිය දිය කඩිතිවල පස් පියුම් පිපෙනා නිල්ල මතුව එයි. ඔහුගේ දත් නැති කටෙන් සිරියාවන්ත හිනාවක් මතුවෙයි.
“මාව හාමුදුරු කෙනෙක්ට බාර දුන්නා…”
“දැන් බණ්ඩයියටත් වයසයිනෙ. උඹ හිටින් එහෙනම් මගෙ උදව්වට. කිව්වා උන්නාන්සෙ…”
“මයෙ නම ගම ඇහුවා. මං කිව්වා නම ගුණවර්ධනය. ගම මීරිගමය කියලා. උන්නාසෙ ටික වෙලාවකින් කිව්වා,
‘මං උඹට චුට්ටෙ කියන්නම්’
කියලා. ඕන්න ඔහොම මං චුට්ටෙ වුණා…”
ඔහු කියයි. කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ රටම දන්නා ගෝලයා බණ්ඩාය. නමුත් මේ කතාව වෙනස්ය. අපේ කතා නායකයා චුට්ටේය. චුට්ටේගේ මතක බිත්තියේ කොනක බණ්ඬේගේ පින්තූරයද පොඩියට තිබේ. නමුත් මේ චුට්ටේගේ මතකයන්ය.
මට මුලින්ම හාමුදුරුවො කිව්වෙ අතුගාන්න කියලා. මං ඉතින් ඉදලත් අරගෙන අතුගාන්න පටන් ගත්තා. අතුගාන්න බෑ කුකුල් පැටව් හැමතැනම. ඉතින් මම හාමුදුරුවන්ට කිව්වා ඕක ගිහිල්ලා.
“මාර වැඬේනෙ හාමුදුරුවනේ, කුකුල් පැටව් හැමතැනම” කියලා.
හාමුදුරුවො මට වැලි ටිකක් දුන්නා ඕන්න ඕක දාන්ඩ ගිහිල්ලා කියලා. මම ඒක දාලා ගිහිල්ලා එන කොට මෙන්න කුකුල් පැටව් නෑ. මං උන්නේ උන් කොහේහරි යන්න ඇති කියලා. හැබැයි එක පැත්තකින් තව පැත්තකට එනකොට අර වගේම බලු පැටව්.
මට හිතුණා ඕකත් ගිහිල්ලා කියන්න ඕන කියලා. හාමුදුරුවො ගහකින් කෝටුවක් කඩලා දුන්නා. ඔන්න ඕකෙන් රිදෙන්නෙ නැති වෙන්න ගහන්න කියලා.
මං ඉතින් ඔය කෝටුවෙන් පුංචි තට්ටුවක් දැම්මා. එහෙ බලලා මෙහෙ බලන කොට බලු පැටව් නෑ…”
ඔහු සිනාසෙයි. එකින් එක මතක අතරින් ඔහු කොණ්ඩදෙණියට ගොස් තිබේ. මගේ සැකය ටක්කෙටම නිවැරැදිය.
“මට ඒ කාලෙ මතක් වුණා…”
ඔහු සුසුමක් හෙළයි. කතා ගොන්නකට උල්පත මතුවෙයි. ඉතින් ඔබ යළි කොණ්ඩදෙණියේ හිමි ගැන කතාව නිමා වූ තැන සිට කියවන්නට සූදානම් විය යුතුය. මේ කසකාරයන් පමණි. තව ගිනි බෝලවත් ආවේ නැත. පෙරහර මනරම්ය. රන්දෝලියක තරම් සෙල්ලම් තිබේ. ඇතුන්ම තිහ හතළිහකි. එහෙමනම් නවතින්න.
මේ ඇරඹෙන්නේ කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ ගැන කියනා චුට්ටේගේ කතාවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads