Type Here to Get Search Results !

පාසල් ගිය දරුවන් දෙදෙනෙක්ගේ දෙමාපියන්ට කොරෝනා – පන්ති දෙකක දරුවන් නිරෝධායනයට


පාසැල් යලි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා ඊයේ (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික්ක වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසනවා.

අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සඳහන් කළේ තිලකපුර ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශ සාමාජිකයෙකු නිවසට පැමිණීමෙන් පසුව ඔහුව නිවසේදීම ස්වයං නිරෝධායනයට යොමු කර තිබු බවත් ඊයේ දිනයේදී පාසැල් යලි විවෘත කිරීම හේතුවෙන් දෙමාපියන් විසින් සිය දරුවන් දෙදෙනාව පාසැල් කරා යොමු කර ඇති බවයි.

ස්වයං නිරෝධායනයට යොමු කර සිටි මෙම ආරක්ෂක අංශ සාමාජිකයාට ඊයේ දහවල් හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කොට ඇති අතර ඒ අනුව ඔහුව වහාම ගිලන් රථයක් මගින් රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත.

රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයේදී මෙම ආරක්ෂක අංශ සාමාජිකයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර පසුව ඔහුගේ බිරිඳගේ ද සිදුකළ PCR පරීක්ෂණයේදී ඇයද කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාසැල් දෙකක 09 සහ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මෙම දරුවන් දෙදෙනා ඊයේ දිනයේදී පාසැල් පැමිණ තිබීම හේතුවෙන් ඔවුන් අධ්‍යාපනය ලැබූ පන්ති දෙකේ සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට තමන් උපදෙස් ලබාදුන් බවයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේ.

හෙට දිනයේ දී මෙම ළමුන් දෙදෙනා ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර ඔවුන්ගේ ප්‍රථිපල මත ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් වන පන්ති දෙකේ සෙසු ළමුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික්කයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට මෙම ළමුන් දෙදෙනා ගේ සමීප ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads