සම්බා, කීරි සම්බා, සහ රතු කැකුළු සහල් හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කුඩා පරිමාණ සහල් මෝල්වලින් වෙළෙඳපොළට නිකුත් කරන ලද සහල් තොග මේ වන විට අවසන් වී තිබීමයි.
මේ අතර, මහා පරිමාණ සහල් වෙළෙන්දන් මේ දිනවල සීමිත ලෙස සහල් තොග වෙළෙඳපොළට නිකුත් කරන බවට තොරතුරු ලැබී ඇත. වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ, කුඩා පරිමාණ සහල් වෙළෙන්දන්ගේ තොග අවසන් වීමෙන් පසුව මහා පරිමාණ වෙළෙන්දන් සහල් මිල ගණන් ඉහළ දැමීමට සූදානමක් පවතින බවයි. මෙම තත්ත්වය පාරිභෝගිකයන්ට තවදුරටත් දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සහල් හිඟයට සමගාමීව, ගොවීන් පෙන්වා දෙන්නේ නියමිත වේලාවට පොහොර නොලැබීම හේතුවෙන් කුඹුරු ඉඩම් රැසක ගොයම් කහ පැහැ ගැන්වී ඇති බවයි. මෙම තත්ත්වය හේතුවෙන් මෙවර යල කන්නයේ වී අස්වැන්න අඩුවීමේ අවදානමක් පවතින බව ගොවීන් කියා සිටී. අස්වැන්න අඩුවීම ඉදිරියේදී සහල් හිඟය තවදුරටත් උග්‍ර කිරීමට හේතු විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.