සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මීගොඩ වටරැක ප්‍රදේශයේ පදිංචි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියකගේ නිවසකින් රුපියල් විසි ලක්ෂයකට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
සොරකම් කරන ලද දේපළ අතර, පවුම් හතකට අධික බරකින් යුත් රන් මාල තුනක්, කරාබු ජෝඩුවක්, මුදුවක් සහ පෙන්ඩන් දෙකක් ඇති බවට වාර්තා වේ.
සිද්ධිය වූ අවස්ථාවේදී පැමිණිලිකාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය සිය මව සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර, නිවසේ සේවය සඳහා සේවිකාවක්ද සිට ඇත. ඉකුත් මස 20 වැනිදා මෙම සේවිකාව විසින් තවත් කාන්තාවක් නිවසට හඳුන්වා දී ඇති අතර, පසුව ඇයද සේවිකාවක් ලෙස සේවය කර ඇත.
පොලිස් විමර්ශන වලදී හෙළි වූ තොරතුරු අනුව, අලුතින් පැමිණි කාන්තාව මීගොඩ, දම්පේ ප්‍රදේශයේ බෝඩිමක නතර වී සිටි අයෙකු වන අතර, ඇය මඩකලපුව ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියකි. ඇයගේ වයස අවුරුදු 36ක් බවට වාර්තා වේ.
පසුගිය 04 වැනිදා මෙම නව සේවිකාව, තම ස්වාමිපුරුෂයා අසනීප වී ඇති බව පවසා මඩකලපුවේ පිහිටි ඇගේ නිවසට පිටත්ව ගොස් ඇත. පිටව යන අවස්ථාවේදී, ඇය අනෙක් සේවිකාවගේ දියණියගේ රන්මාලයක් ද ඉල්ලාගෙන දින දෙකකින් නැවත පැමිණෙන බවට පොරොන්දු වී ඇත.
කෙසේ වෙතත්, ඇය නැවත නොපැමිණීම හේතුවෙන් අනෙක් සේවිකාව දුරකථනයෙන් ඇයට ඇමතීමට උත්සාහ කළද, දුරකථනය විසන්ධි වී තිබී ඇත.
මෙම සැක කටයුතු තත්ත්වය මත පැමිණිලිකාරියට සැකයක් ඇති වී තිබේ. ඒ අනුව, ඇය විසින් රන් භාණ්ඩ තබා තිබූ අල්මාරිය පරීක්ෂා කිරීමේදී, රන් බඩු තබා තිබූ ලාච්චුවේ තිබූ වෙල්වට් පෙට්ටිය අතුරුදහන් වී ඇති බව නිරීක්ෂණය කර ඇත.
සොරකම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මීගොඩ පොලිසිය විසින් සිදු කරනු ලැබේ.