සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මහරගම නගර සභාවේ පැවති රැස්වීමකදී මාර්ගයක් නම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම නොසන්සුන්කාරී තත්ත්වයට මූලික හේතුව වී ඇත්තේ ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) සාමාජිකයෙකුගේ නමින් මාර්ගයක් නම් කිරීමට ගත් තීරණයකි.
මහරගම මිරිහාන සමගි මාවත ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකුගේ නමින් නම් කිරීමට මහරගම මහ නගර සභාව කටයුතු කර ඇතැයි විපක්ෂය පවසයි.
මිරිහාන ප්‍රදේශයේ පිහිටි 'සමගි මාවත' නම් මාර්ගය, නගර සභාවේ අනුමැතියකින් තොරව 'ආරියදාස මාවත' ලෙස නම් කර ඇති බවට චෝදනා එල්ල විය.
මෙම නම වෙනස් කිරීම මාලිමාවට හිතැති පිරිසක් විසින් සිදුකර ඇති බවත්, මීට මාස තුනකට පෙර නගර සභාව විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබූ බවත් සජබ මන්ත්‍රී සමන් සේනාධිර මහතා පෙන්වා දුන්නේය.
පාලන බලය හිමි මාලිමාවේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර පරස්පර අදහස් හුවමාරු වීමත් සමඟ විපක්ෂ මන්ත්‍රීවරුන් කෑකෝ ගසමින් සභා ගැබ මැදට පැමිණ විරෝධය පළ කළහ.
මෙම කලබලකාරී තත්ත්වය මධ්‍යයේ සභා ගැබේ විදුලිය විසන්ධි වීමක් ද වාර්තා විය. උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා සභාපතිවරයාට අවස්ථා තුනකදී සභාව කල් තැබීමට සිදු විය.
අනවසරයෙන් සවිකර ඇති නාමපුවරුව ඉවත් කරන තෙක් සභාව පවත්වාගෙන යාමට විපක්ෂය එකඟ නොවූහ.
අනතුරුව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කළ සභාපතිවරයා, අදාළ ගැටලුව සම්බන්ධයෙන් දින දෙකක් ඇතුළත විධිමත් පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසුව සභාවේ කටයුතු යථා තත්ත්වයට පත් විය.


