සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
සංවිධානාත්මක පාතාල කල්ලි නායක නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට රැඳවුම් භාරයෙන් සහන සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා (26) නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු වන චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණ හැන්දිගේ යන අයයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් මහේස්ත්‍රාත්වරයා විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අධිකරණයේදී අනාවරණය වූ වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වන්නේ, මෙම සැකකරුවන් තිදෙනා අල්ලස් සාකච්ඡා නිමවා 2023 මාර්තු 29 වැනිදා ඩුබායි සිට එකම ගුවන් යානයකින් යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම සංචාරය සඳහා රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබීමයි.
අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ අවධාරණය කළේ, හිටපු අධිකරණ අමාත්‍යවරයා ද මෙම ගුවන් ගමනට සහ සංචාරයට සම්බන්ධ වී ඇති බැවින් ඒ පිළිබඳව ද ඉදිරියේදී ඉතා පුළුල් සහ සුවිශේෂී විමර්ශනයක් පවත්වන බවයි.
මේ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විමර්ශන කණ්ඩායම් සූදානම් වන අතර, ඔහු අත්අඩංගුවට පත්වීමේ දැඩි ඉඩකඩක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතාබහක් නිර්මාණය වී ඇත.
අධිකරණයේදී අනාවරණය වූ කරුණුවලට අනුව, මෙම අල්ලස් මුදල සැකකරුවන් වෙත ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා මුදලින් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාවිත කරන ‘ඩිරාම්’ මුදලිනි. ඩුබායි රාජ්‍යයේ වෙසෙන නිර්මල බණ්ඩාර හෙවත් ‘හර්බි’ නැමැති පුද්ගලයා හරහා මෙම කටයුත්ත සම්බන්ධීකරණය වී ඇති අතර, 2023 වසරේ මාර්තු මස 23 වැනිදා මෙම සැකකරුවන් තිදෙනා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
එහිදී හර්බි නැමැත්තාගේ නිවසේදී ඔවුන් ‘හරක් කටා’ නැමැති පාතාල සාමාජිකයාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති සහ දැනට අත්අඩංගුවේ පසුවන මිදිගම රුවන් යන අය හමුවී සාකච්ඡා පවත්වා තිබේ. එහිදී සැකකරුවන් විසින් මුලින්ම රුපියල් කෝටි 50 ක මුදලක් ඉල්ලා ඇති අතර, පසුව සාකච්ඡා මාර්ගයෙන් එය කෝටි 30 දක්වාත්, අවසානයේ කෝටි 20 දක්වාත් අඩු කර ඇත. එම මුදලින් කෝටි 12 ක මුදලක් අත්තිකාරම් ලෙස ඉල්ලා ඇති අතර, ඒ අනුව එක් දිනකදී කෝටි 10 ක් සහ ඊට පසු දින තවත් කෝටි 2 ක් වශයෙන් ඩිරාම්වලින් මෙම මුදල ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.


