සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇති කිරීමට නම් ගොවීන් ද කාලයට සාපේක්ෂව වෙනස් විය යුතු බවත්, ඔවුන් රජවරු හෝ ජාතියේ බත් සපයන්නන් ලෙස හුදෙක් වර්ණනා කිරීමෙන් පමණක් එම වෙනස සිදු කළ නොහැකි බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වර්තමානයේ රට පවතින්නේ පරිවර්තනීය යුගයක බවයි. එවැනි කාලසීමාවකදී එල්ල වන ගුණදොස් දෙකටම රජය සූදානම් බවත්, පැරණි ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව මාවතකට අවතීර්ණ විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය කාලසීමාවේ පොහොර මිටියක මිල රුපියල් 40,000 - 50,000 දක්වා ඉහළ ගිය අවස්ථාවේදී ගොවීන් වී කිලෝවකට රුපියල් 150ක මිලක් ඉල්ලා සිටි බව සිහිපත් කළ අමාත්‍යවරයා, වත්මන් රජය පොහොර සහනාධාරය සැලකිය යුතු ලෙස වැඩිකර ඇති බැවින් එම තත්ත්වය දැන් වෙනස් වී ඇති බව ප්‍රකාශ කළේය.
වී මිල තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රජය මිල නියම කරන්නේ විද්‍යාත්මක පදනමක් මත බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු ආයතනය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය එක්ව පිරිවැය ගණනය කර මෙම තීරණ ගන්නා බවත්, පුද්ගලික මට්ටමින් ඉදිරිපත් කරන දත්ත මත රජයට තීරණ ගත නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
සහල් මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට මේ වන විට කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා, අධිකරණ ක්‍රියාවලීන් පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් මෙහි පැමිණ සිටින්නේ කෘෂිකර්මාන්තය පිළිබඳ කටයුතු කිරීමට මිස අධිකරණ කටයුතු පිළිබඳව නොවන බවයි.


