Type Here to Get Search Results !

එයා කොහොමත් මම බැට් කරනවා බලන්නේ නැහැ. එයාට බයයි කියලා.. - ශෙහාන් ජයසූරිය


ෂෙහාන් ජයසූරිය කියන්නේ මේ දිනවල වැඩිපුර කතා කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඊට හේතුව මේ දිනවල පකිස්ථානයේ පැවැත්වෙන තරග සදහා ඔහුගේ දායකත්වය ලැබෙන නිසයි. පසුගියදා පැවති පකිස්ථාන ශ්‍රීලංකා එක් දින තරගයේදී සටන්කාමී තරගයක නිරතවෙමින් ලකුණු 96ක් ලබා ගත් ෂෙහාන් ඒ ගැන කියන්නේ මෙහෙමයි.

මිට වසර දහයකට පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම රැගෙන ගිය බස් රථයට පකිස්ථානයේදී ප්‍රහාරයක් එල්ල වුනා. ඒ හේතු නිසා පකිස්ථාන සංචාරය සදහා සහභාගී වෙන්න එපා කියලා පවුලේ අයගෙන් විරෝධයක් ආවේ නැද්ද කියලම අපි කතාබහ ආරම්භ කරමු..?

අම්මා නම් කිව්වා ඒ සංචාරයට සහභාගී වෙන්න එපා කියලා. අම්මා විරුද්ධ වුණත් තාත්තා නම් කිව්වේ සංචාරයට සහභාගී වෙලා කණ්ඩායම වෙනුවෙන් හොදින් ක්‍රීඩා කරන්න කියලයි. මොකද ඒ වෙද්දී ජාතික කණ්ඩායමට හොද ආරක්ෂාවක් ලබා දෙනවා කියලා කිව්ව නිසා. ඒ වගේම අපිට ආරක්ෂාවත් ලබා දුන්නා. බයකින් තොරව හොද මානසික මට්ටමකින් තරග කරන්න අවශ්‍ය පරිසරය සැකසිලා තියෙනවා. මගේ පෙම්වතිය කවීෂාගෙනුත් විරුද්ධත්වයක් ආවේ නැහැ.

පසුගිය සදුදා පැවති එක් දින තරගයේදී ලකුණු 96ක් ලබා දෙමින් ඔබට කණ්ඩායම ශක්තිමත් කරන්න අවකාශය ලැබුණා. ඒ ගැන මොකද හිතන්නේ..?

මම දසුන් එක්ක පිටියට පිවිසුණාට පස්සේ අපි දෙන්නා කතා කළා. අපි දෙන්නගෙම අරමුණ වුණේ ඒ අවස්ථාව අනුව කඩුල්ලේ රැදෙමින් ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න ඕන කියන එක. ඒ අවස්ථාව අනූව අපි දෙන්නට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා දෙන්නම පරිස්සමින් ලකුණු රැස් කළා. ඇත්තටම එදා මම ලකුණු 96ක් ලබා ගත් එක ගැන සතුටක් තියෙනවා. ඊට වඩා ලකුණු ප්‍රමාණයක් අරගෙන එදා තරගය අපිට ජයග්‍රහණය කරගන්න තිබ්බා නම් තවත් සතුටු වෙන්න තිබ්බා.

ඔබ පිටියට පිවිසෙද්දී අඩු ලකුණු සංඛ්‍යාවකට කඩුළු පහක් දැවී ගොස් තිබුණා. ප්‍රතිවාදීන්ගේ පන්දුවේ දක්ෂතා එක්ක ඒ වගේ අවස්ථාවක කණ්ඩායම වෙනුවෙන් ඔබට සටන්කාමී තරගයක නිරත වෙමින් ලකුණු අතරට යන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබ්බද..?

ඒ වෙද්දී අඩුම ලකුණු සංඛ්‍යවකට කඩුළු පහක් දැවී ගොස් තිබුණා. ඇත්තම කිව්වොත් ඒ වෙද්දී මමත් බයෙන් හිටියේ. පළමු පන්දු දෙකට මුහුණ දුන්නට පස්සේ මගේ හිතේ තිබුණු බය නැති වෙලා ගියා. මට තේරුණා කඩුල්ලේ රැදී හිටියොත් හොද ලකුණු සංඛ්‍යාවක් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ආ හැම පන්දුවකටම පරිස්සමින් පහර දීලා වැඩි ලකුණු ලබා ගන්න උත්සහ ගත්තා. මගේ උත්සාහය සාර්ථක වුණා දසුන්ගෙන් ලොකු සහයක් ලැබුණු නිසා. 

එදා ශතකයක් ගන්න ලැබුණු අවස්ථාව ගිලිහුණා නේද..?

ඇත්තටම මම හිතුවා ශතකයක් ලබා ගන්න පුළුවන් කියලා. නමුත් ශතකයක් ලබා ගන්න බැරි වුණා. ඒ ගැන දුකයි. මම කාමරයට එද්දී ඊට යාබදින් තිබුණා ලොකු බෝඩ් එකක්. ඒ බෝඩ් එකේ තිබුණේ ශතක ලබා ගත් පිතිකරුවන්ගේ නම් ලැයිස්තුව. මට හිතුනා එදා මමත් ශතකයක් ගත්තා නම් මගේ නමත් එතැන ලියවෙන්න තිබුනා නේද කියලා. ඒ වෙලාවේ දුකක් හිතුනා. 

ඔබේ දක්ෂතා සජීවීව බලන්න පෙම්වතිය සම්බන්ධ වුණේ නැද්ද..?

එයා ආවේ නැහැ. එදා තරගය අම්මටයි තාත්තාටයි බලන්න කියලා ටි. වී එක දාලා දීලා එයා බලලා නැහැ. මම ලකුණු ගද්දි පැත්තකට වෙලා කෑ ගගහා හිටියා කියලා එයාගේ අම්මා මාත් එක්ක කිව්වා. එයා කොහොමත් මම බැට් කරනවා බලන්නේ නැහැ. එයාට බයයි කියලා. සජීවීව මැච් එකක් බලන්න ගියත් එහෙමයි. මම බෝල් කරනවා විතරයි එයා බලන්නේ. ලකුණු 96ක් ගත්ත එක ගැන එයාට ලොකු සතුටක් තියෙනවා. ඒ වුනාට 100ක් ගැහුවා නම් තමයි හොද කියලා කිව්වා.

ඔබට හිතෙන විදිහට පකිස්ථාන කණ්ඩායමේ පිතිකරණයේ යෙදෙන්න අසීරුම පන්දු යවන්නන් කවුද..?

වේගපන්දු යවන මොහොමඩ් අමිර්ගේ පන්දුව හරිම වේගවත්. එයාගේ පන්දුවට මුහුණ දෙන එක ටිකක් අසීරුයි. කොහොම නමුත් අද තරගයේදීත් හොදින් ලකුණු ගන්න බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමේ ජයග්‍රහණයත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

තරගවලදී කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය...?

නායක ළහිරු තිරිමාන්නගෙන් වගේම අනෙකුත් සියලුම ක්‍රීඩකයින්ගෙන් එක වගේ සහයක් ලැබෙනවා. ඒ වගේම මගේ සියලුම පුහුණුකරුවන් මට ලොකු සහයක් දක්වනවා. ලසිත් මාලිංග, චාමර සිල්වා, දිල්රුවන් පෙරේරා , ධනංජය සිල්වා, අයෙෂ් සිල්වා කියන සගයන් හැමෝම වගේම චින්තක සර් බන්දුල සර් අරුණ සර් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. යාලුවෝ මම තරගයකට යන්න කලින් කෝල් කරලා සුබ පතනවා. ඒ හැමෝගෙම සහයෝගය මට ඇත්තටම වටිනවා.

මේ දක්ෂතා එක්ක කණ්ඩායමේ සිය ස්ථානය රැකගන්න පුළුවන් වෙයි නේද..?

කණ්ඩායමේ තැන රැකගන්න ඕන කියලා හිතලා මම කවදාවත් ක්‍රීඩා කරන්නේ නැහැ. අවස්ථාවක් ලැබුණොත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා මිසක්. මම හොදින් ක්‍රීඩා කළොත් මට අවස්ථාව ලැබෙයි. 

විවාහය සිදුවෙන්නේ..?

2021 අවුරුද්දේ තමයි විවාහ උත්සවය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.







Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads