ඇත්තටම මේ දවස්වල මගේ වෘත්තියේ වැඩ නම් කරන්නෙ නැහැ. මීට මාස ගාණකට කලින් මම මගේ රැකියාව නතර කළා. මේ දවස්වල නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නව. දැන්නම් ලොකු කාලයක් නැහැ. ලබන මාසයේ තමයි බබා ලැබෙන්න වෛද්‍යවරයා දින ලබා දීලා තියෙන්නෙ.
ඔබ දෙපළ බලාපොරොත්තුවෙන් ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද?
එහෙම විශේෂයක් නැහැ. දුවෙක් වුණත් පුතෙක් වුණත් ආදරයෙන් හා සතුටින් බාර ගන්න අපි දෙන්නම සූදානමිනුයි හිටියෙ. ඒ වුණාට වෛද්‍යවරයා පැවසූ විදිහට මට ලැබෙන්න ඉන්නෙ දුවෙක්.
කුළුදුලේ අම්ම කෙනෙක් වෙන්න යන අත්දැකීම ගැන ඕෂධීට මොනවද කියන්න තියෙන්නෙ?
මේ අපේ පළවෙනි බබා. මේක අපි දෙන්නගෙම ජීවිතවලට අලූත්ම අත්දැකීමක්. අපි දෙන්නම හැම දේකින්ම සූදානම් වෙනව. දරුවගෙ ඇඳුම් හා අවශ්‍ය දේවල් සූදානම් කරනව. ගොඩක් ආසාවෙන් බලා ගෙන ඉන්නව.
විවාහ වෙලා දෙමවුපියන් වෙන්න යන මේ මොහොත දක්වා ජීවිතය ගලායන්නෙ සතුටු සිනා අතරින් ද?
මගේ සැමියා මනෝජ්. එයා තවම පොඩි ළමයෙක් වගෙයි හැසිරීම. කිසිම වගකීමක් දැණුනෙ නැහැ. විවාහ වුණ අලූත නම් මටත් ටිකක් තරහ ගියා එයා හැසිරෙන විදිහ ගැන. මනෝජ් රැකියාව කරන්නෙ ගුවන් සේවකයෙක් විදිහට. එයාගේ රැකියාව අනුව ලංකාවේ ඉන්නව අඩුයි. මුලින් මුලින් මේ ගැන ටිකක් දුක හිතුණා. පොඩි පොඩි ප්‍රශ්නත් ආවා. පස්සෙ මම තේරුම් ගත්තා එයාගෙ රැකියාවෙ ස්වභාවයත් එක්ක එයාට හැම වෙලාවකම මගේ ළඟින් ඉන්න විදිහක් නැහැ කියලා. දැන් ඒ දේවල් තේරුම් අරගෙන හොඳින් ඉන්නව.
නිරූපිකාවක් වුවත් දැන්ම ශරීරයේ හැඩය ගැන සිතන්න බැහැ නේද?
මම කවදත් නිරූපිකාවක් විදිහට මගේ ශරීරයේ හැඩය තබාගන්න උවමනා නිසා කෑමෙන් බීමෙන් ගොඩක් පරිස්සම් වුණා. ලංකාවේ මම දැකල තියෙන විදිහට කාන්තාවක් ගැබිනි සමයේ ඉන්න ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් විතර මහත් වෙනව. මම ඒකට ගොඩක් බය වුණා. අනික මනෝජ් වුණත් තුන්වේලටම බත් කන කෙනෙක් නෙවෙයි. අපි දෙන්නම බත් කන එක අඩුයි. මම ගෙදර වැඩියෙන් බත් උයන්නෙ නැහැ.
මගේ වෛද්‍යවරයා අනිත් වෛද්‍යවරුන්ට වඩා ගොඩක් වෙනස්. ඔහු කියන්නෙ ඕෂධී ඔයා බබා ලැබෙන්න ඉන්නව කියලා දෙන්නෙකුට ඇතිවෙන්න කන්න උවමනා නැහැ. සාමාන්‍යයෙන් කන ප්‍රමාණය කන්න. සෞඛ්යාරක්ෂිත ආහාර ගන්න. හැම වෙලාවෙම සළාද වර්ග හැකි තරම් ආහාරයට එකතුකර ගන්න කියලයි. ඒ විදිහටයි මම කෑවේ. බිව්වෙ. දැනටත් මගේ ශරීරය අනවශ්‍ය විදිහට බර වැඩිවෙලා නැහැ. ක්ෂේත්රයට එනව නම් ඇඟ හදාගන්න මට ලොකු වෙහෙසක් දරන්න වෙන එකක් නැහැ.
නිරූපණ ක්ෂේත්රයට නැවතත් ඉක්මණින් අවතීර්ණ වෙන්නද සැලසුම් කරල තියෙන්නෙ.
ආයෙත් එන්න හිතනවා. නමුත් මම ඉස්සර වගේ වැඩ ගොඩක ඉන්නෙ නැතිවෙයි. අම්ම කෙනෙක් විදිහට මම බබත් එක්ක ඉන්න ඕන. කොහොමත් ක්ෂේත්රයට එන්න ලොකු ආසාවක් නැහැ.
මේ දවස්වල ගෙදර වැඩපල කරගන්න කාගේ හෝ සහය ලැබෙනවද?
අපි දෙන්න පන්නිපිටියෙ ගෙදරක ඉන්නෙ. අපි විවාහ වෙලා අලූත් තැනක පදිංචියට ආව දා ඉඳල මම තමයි ගෙදර වැඩ ටික කරගන්නෙ. ඒ දේවල්වලට මම ඇත්තටම ආසයි. පවුල් දිවියක් වුණහම අපි දෙන්න තනියම හැම දේකටම හුරුවෙන්න ඕන කියන සිතුවිල්ල මට තිබුණා. බබා ලැබුණම නම් මගේ අම්මා එයි මට උදව් කරන්න. බබාගේ වැඩ ටික මට හුරුවෙනකම්.
ජීවිතය ගොඩක් වෙනස් වෙලාද ඕෂධී?
ගැහැනියක් විදිහට අපේ ජීවිතය සම්පූර්ණ වෙන්න නම් අපිට පවුල් ජීවිතයකුත් තියෙන්න ඕන. අද මට හොඳ පවුල් ජීවිතයක් තියෙනව. මම හිතනව අපේ ජීවිත සම්පූර්ණයි කියලා. නිරූපණ කටයුතු කරන කාලේ මම හොඳට වැඩ කළා. මුදල් හෙව්වා. ඒක කරගෙන යන්න මට හොඳ නිදහසක් තිබුණා. ඒ අතිනුත් මම හරිම සතුටින් වෘත්තිය දිවිය ගතකරපු කෙනෙක්. දැන් පවුල් ජීවිතයක වගකීම් දරන්න මගේ වයස හරි. ඒ නිසා මම වැඩි ප්‍රමුඛතාවක් මගේ පවුල් ජීවිතයට ලබාදීලා ජීවත් වෙනව.
නිරූපණය කියන වෘත්තිය ජීවිතයේ එක කාලයකදි විතරක් කරන්න පුළුවන් රැකියාවක් කියන කතාවේ සත්‍ය ගැන ඔබට මොනවද කියන්න තියෙන්නෙ.
නිරූපණය කියන්නෙ අපිට හැමදාම නියැළිලා ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. ක්ෂේත්රයට එද්දිම ඒක අපේ ඔළුවෙ වැඩ කරන්න ඕන සහ ඒක අපි තේරුම් අරගෙන ඉන්න ඕන. අපි වයසට යද්දි ඒ වයස්ගත වීම කොච්චර අල්ලගෙන බදාගෙන හිටියත් ඒ ඇත්ත අපිට බාරගන්න වෙනව. මම තවම මේ රැකියාව අතහැරලා දාලා නැහැ. මේ රැකියාව මම හරි ගෞරවයෙන් ආසාවෙන් කළ දෙයක්.
ඕෂධී පවුල් ජීවියේ ඉදිරිය සැලසුම් කරල තියෙන්නෙ මොන විදිහටද?
මගේ ගම හික්කඩුව. ගමේ ජීවිතයට සාපේක්ෂව කොළඹ ජීවිතය සංකීර්ණයි. අපි දැනට පදිංචි වෙලා ඉන්නෙ පන්නිපිටියෙ ප්‍රදේශයේ නිවසක. අපි දෙන්නගෙ මහන්සියෙන් තමයි අපි ජීවිතය පටන් ගන්න හදන්නෙ. අපේම කියල ගෙයක් හදාගන්න සැලසුම් කරල තියෙනව. කොහොමත් අපි ජීවිතයේ ඉදිරිය සැලසුම් කරලා තියෙන්නෙ. පියවරෙන් පියවර අපි අපේ සැලසුම් වලට යනව.
ඕෂධී සතුටින් ඉන්න ආදරය විතරක් තිබුණම මදියි කියල දැනෙන කාලයක්ද මේ?
සල්ලි කියන දේත් ඕන. නැතිව නෙවෙයි. නමුත් මම කියන්නෙ සල්ලි වලට වඩා ආදරය කියන දේ අත්‍යවශ්‍යයි.
බබාට නමක් ගැන හිතලද තියෙන්නෙ?
නම් කිහිපයක්ම හිතේ තියාගෙන ඉන්නව. අපේ සංස්කෘතියට අනුව උපදින වෙලාවකට අනුව යෙදෙන සුබ අකුරකින්නෙ නමක් යොදන්නෙ. ඒ අකුරු එක්ක නමක් ගලපල නමක් යොදන්න තමයි හිතාගෙන ඉන්නෙ.