Type Here to Get Search Results !

ආදරේ ගැන හිතන්නෙ නැතිව ක්‍රිකට් වෙනුවෙන් මගේ අවධානය යොමු කරනවා - ධනුෂ්ක ගුණතිලක


ආරම්භක පිතිකරුවකු වශයෙන් 2015 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රීඩා කෞෂල්‍ය සම්බන්ධයෙන් වඩාත් කතා බහට ලක්වූයේ පසුගියදා පාකිස්තානයේ පැවැති එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය අතරතුරදීයි. ඔහු එම තරගාවලියේදී සිය දෙවැනි එක්දින ශතකය මෙන්ම දෙවැනි විස්සයි විස්ස අර්ධ ශතකයද වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානයට යළිත් ස්ථිර පිතිකරුවකු බවට පත් වුනා. මේ ඔහු ගැනයි.

පාකිස්තාන සංචාරයෙන් පසුව ඔබ නැවතත් ජාතික කණ්ඩායමේ ස්ථිර ආරම්භක පිතිකරුවා වශයෙන් නම් කර තිබෙනවා. කොහොමද ඔස්ට්‍රේලියානු සංචාරයට තියෙන සැලසුම.?
අපි පාකිස්තානය පරාජය කිරීමෙන් පසුව හොද මානසික ශක්තියක් කණ්ඩායමේ ඇති වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවට යන්නෙ පාකිස්තාන් සංචාරයට ගියාටත් වඩා ශක්තිමත් කණ්ඩායමක් වෙලා. ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් පෙරේරා කණ්ඩායමට ඇතුළු වෙලා ඉන්නවා. මම හිතනවා පාකිස්තානයේදී කළා වගේම ඔස්ට්‍රේලියානු සංචාරයේදීත් මට උපරිම විදිහට කණ්ඩායමට සේවය ලබාදෙන්න පුළුවන් කියලා. එ වෙනුවෙන් අලූත් සැලසුමක් අනූව අපි පුහුණුවීම් කළා. මට අවශ්‍ය හැම තරගයක්ම හොඳින් කරන්න. එ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙනවා.

ඔබට ලෝක කුසලානයේදී කණ්ඩායමේ ස්ථානයක් හිමි වුණේ නැහැ. නමුත් ඔබ පෙන්නුවා ඔබට කළ හැකි දෙය සම්බන්ධව...?
මම හිතන්නෙ ලෝක කුසලාන තරගාවලියට කලින් මගේ තුනටියේ ආබාධයක් ඇවිල්ලා ටික කාලයක් ක්‍රීඩා කරන්න බැරි වුණා. ඊට පස්සෙ ලෝක කුසලානට කණ්ඩායම තෝරන වෙලාවෙ මම සුව වෙලා හිටියේ. එතනදි තිබුණ තේරීම් තරගාවලිය එ කියන්නෙ පළාත් තරගාවලියේදී මට ලකුණු අතරට එන්න බැරි වුණ නිසා තමයි ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමි වුණේ.

කණ්ඩායමේ ස්ථානය අහිමි වීමෙන් පසුව ඔබේ මානසිකත්වය කොහොමද වර්ධනය කර ගත්තෙ...?
මම හැමදාම මගේ පුහුණුවීම් කළා. පිතිකරණයේ ලොකු වෙනස්කම් කරන්න ගියේ නැහැ. එ වගේම ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා පුහුණුවීම් කළා. ඒ  අතරතුරදී මට ලැබුණ සෑම තරගයක්ම උපරිම කරපු නිසා තමයි ආයෙත් කණ්ඩායමට එන්න පුළුවන් වුණේ.

පාකිස්තාන් සංචාරය ඔබට අමතක නොවන තරගාවලියක් බවට පත් වුණා. මොනවද එ තරගාවලියේදී ඔබට මතක හිටින සුවිශේෂී කරුණු මොනවද?
ඇත්තටම පාකිස්තාන් සංචාරයට අපේ ගියේ නවක කණ්ඩායමක්. පාකිස්තානය කියන්නෙ ලෝකයේ අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම.
ඔවුන්ගේ පන්දු යැවීමේ බල ඇණිය ඉතාමත් ශක්තිමත්. ලෙහෙසි නැහැ ඔවුන්ව පරද්දනවා කියන එක. මට අවශ්‍ය වුණේ කොහොම හරි ඉනිම අවසන් වෙනකම් පන්දුවට පහර දෙන්න. එ නිසා මම හිතනවා එක්දින තරගයේදී ලබාගත් ශතකය මගේ හොදම ශතකයක් කියලා. විස්සයි විස්ස තරගාවලිය අපිට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. එ වගේම පාකිස්තානයෙන් ලැබුණ ආරක්ෂාව සහ ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් අපිට දැක්වු සහයත් අගය කරන්න ඕනා.

ඔබ දැන් යෞවන වියේ ඉන්න හැඩකාර ක්‍රීඩකයෙක්. පෙම්වතිය සහ විවාහය සම්බන්ධව දැන් යෝජනා එහෙම ඇති නේද?
මට දැනට නම් පෙම්වතියක් නැහැ. එ ගැන හිතන්නෙ නැතිව ක්‍රිකට් වෙනුවෙන් විතරමයි දැන් මගේ අවධානය යොමු කරලා තියෙන්නෙ.

පාකිස්තාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් කිව්වා ඉස්සර සංගක්කාර වගේ දැන් ධනුෂ්ක ගුණතිලක තම කණ්ඩායමට කරදරකාරයෙක් කියලා...?
කුමාර් සංගක්කාර කියන්නෙ ලෝකයේම බිහිවූ විශිෂ්ට පිතිකරුවෙක්. මාව ඔහුට සමාන කරන්න බැහැ. මම පාකිස්තානයේදී ක්‍රීඩා කරපු ඉනිම නිසා ඔහු එහෙම කියන්න ඇති.

ඔබේ අනාගත බලාපොරොත්තු කුමක්ද?
කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් දිනාගෙන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුනේම ක්‍රීඩා කිරීම පමණයි මගේ ඉලක්කය.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads