මෑත කාලයේ බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් ගැන අපිට දකින්න ලැබුණේ හොඳ කතන්දර නෙවෙයි. පසුගිය දිනෙක මනුස්සකමක් නැති රියදුරු මහතෙකු විසින් පුංචි දරුවෙකු හා කාන්තාවක මහමඟ දමා අතරමං කර ගිය පුවත ඔබ දන්නවත් ඇති.
කොහොම වුණත්, එවන් රියදුරන්, කොන්දොස්තරවරුන් අතර තම රාජකාරියට එහා ගිය සේවයක යෙදෙන පිරිස් ද නැතුවාම නොවේ. මේ එවන් කොන්දොස්තරවරයෙක් ගැන මඟියෙකු තැබූ අපූරු සටහනක්.
මේ සිද්ධිය වෙන්නෙ 2019.10.23 වෙනිදා ගාල්ල වක්වැල්ල හරහා කරාපිටිය සිට හික්කඩුව දක්වා ධාවනය වන බස් රථයක. බස් එකේ අංකය NA-2165.හරියටම උදේ 8.10ට බස් එක කරාපිටිය බස් නැවතුමෙන් ගමන් ආරම්භ කළා.
ටික දුරක් යනකොට බස් එකට වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලාවකට යන මල්ලි කෙනෙක් නැග්ගා. එයා දැකපු ගමන් මට තේරුනා එයා සාමාන්ය කෙනෙන් නෙමෙයි කියල. පස්සෙ දැනගත් විදියට එයා මතක ශක්තිය ටිකක් අඩු කෙනෙක්ලු. එයා හරිම අහිංසක විදියට හිනාවේගෙන පිටිපස්සට ඇවිත් මගේ ළඟම එහා පැත්තෙන් වාඩි උනා.
ටික වෙලාවකින් කොන්දොස්තර මහත්මයා ලගට ආවා. මල්ලි උඩ සාක්කුවට අත දැම්මා, කලිසම් සාක්කුවලට අත දැම්මා. සල්ලි නෑ. බෑග් එකේ සාක්කුවටත් අත දැම්මා ඒත් නෑ. මල්ලි කරකියා ගන්න දෙයක් නැතිව අසරණ වෙලා හිටියෙ. එයා ඉන්න තත්ත්වය කොන්දොස්තර මහත්මයාට තේරුනා.
"හරි කමක් නෑ, කමක් නෑ" කොන්දොස්තර මහත්මයා කිව්වා. මං හිතුවෙ එයා එහෙම කියල යයි කියල. ඒත් එයා ආයෙමත් මල්ලිගෙන් අහනවා,
"එන්න සල්ලි තියෙනවාද?"
"තියෙනවා" මල්ලි කිව්වා
"කන්න සල්ලි තියෙනවාද?"
"තියෙනවා"
බලන්න තියෙන හැමතැනම බලලත් රුපියලක්වත් නැති එයා කියන්නෙ බොරු කියල කොන්දොස්තර මහත්මයාට තේරුනා. "මේක තියාගන්න " එයා කෙලින්ම ටිකට් පොත අස්සෙන් රුපියල් 100 කොලයක් අරන් මල්ලිට දුන්නා. එයා බොහොම අහිංසක විදියට හිනාවෙලා ලැජ්ජාවෙන් සල්ලි අතට ගත්තා. ඇග මහන්සි කරලා වැඩක් කරන්න බැරි ඒ අහිංසකයට ජීවිතේ ජයගන්න පුලුවන් වෙන්නෙ ඉගෙන ගන්න දෙයකින්. "සල්ලි නැත්නම් බහින්න මල්ලි" කියන්නෙ නැතිව ජීවිතේ ගොඩ දාගන්න ඒ අහිංසකයා ගන්න වීරියට පුංචි හරි උදවුවක් කරපු මේ පුංචි මනුස්සයා ගැන මට හරිම ආඩම්බරයක් ඇතිවුණා. ඒ නිසාම බස් එකෙන් බහිනකොට මට කෝල් එකක් දෙන්න කියල එයාට මගේ නම්බර් එක දුන්නා.
පස්සෙ මම එයා එක්ක කතා කරනකොට එයා තවත් ගොඩක් විස්තර කිවුවා. එයාගෙ නම තමයි ශෂී මිහිදුකුලසූරිය. ටිකක් කතා කරනකොට එයා තව දෙයක් කිව්වා
"මං මේ වැඩකලාට මගේ වකුගඩුවකුත් යාලුවෙකුට දීල තියෙන්නෙ මහත්තයා "
මට හරි පුදුම හිතුනා.
"කලින් මං අවුරුදු 12ක්ම වැඩකලේ ඇල්පිටිය - ගාල්ල බස්වල. ඔපරේෂන් එකෙන් පස්සෙ ඒඅය මාව වැඩට ගන්න කැමති උනේ නෑ. ඒ නිසා දැන් මම මේ බස් එකේ වැඩ කරනවා. සමහර දවසට වීල් එකක යන්න සල්ලි නැති ලෙඩ්ඩු එක්ක ඇවිත් යන්න පුලුවන්ද අහනව. සමහරු තුන් හතර දෙනා උස්සගෙන ඇවිත් ෂීට් වල හාන්සිකරගෙන යන්නෙ. සල්ලි නෙමෙයිනෙ මහත්තයෝ වටින්නේ ." ශෂී කියාගෙන ගියා.
"මට පඩිය ලැබෙන්නෙ රු 900 ක් 1000ක් වගේ තමයි. මම ඒ සල්ලිවලින් අම්මා තාත්තා නැති ළමයින්ට පාසල් පොත් කට්ටලයක් ලබා දෙනවා. ඒ ළමයි හරිම අසරණයි නේ මහත්තයෝ. ඉස්සර නම් පොත් කට්ටල ගොඩක් අරන් දෙනවා. ඒත් දැන් ගණන් වැඩි නිසා ගොඩක් දෙන්න අමාරුයි. සල්ලි තියෙන විදියට ගොඩක්ම අසරණ ළමයින්ට සපත්තු දෙකකුත් දෙන්න බලනවා. ඊට අමතරව මම පැල සිටුවීමේ වැඩසටහන යටතේ පැල එහෙමත් ලබා දෙනවා."
රුපියල් සත පස්සෙ එලවගෙන ගිහින් හති අරින මිනිස්සු අතරෙ අතට ලැබෙන පුංචි මුදලින් මේතරම් සමාජ සත්කාරයන් කරන මිනිස්සු ඉන්නවද කියල හිතාගන්නත් අමාරුයි. ඉතිං ඒ වගේ කෙනෙක්ට සහයෝගය දෙන්න ඕන, අගය කරන්න ඕන කියල හිතුන නිසයි මෙච්චර ගොඩක් විස්තර කිව්වේ. බස් එකෙන් බහිනකොට කලබලේට යන්තම් ශෂීගෙ පොටෝ එකක් ගහගත්තා.
අවසාන වශයෙන් මේ කතාව කියන්න මුල් වෙච්ච මල්ලිගෙ අධ්‍යාපනය කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරන අතර ශෂීගෙත් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙලා ජීවිතේ එයා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.