Type Here to Get Search Results !

මම ගොඩක් සංවේදී කෙනෙක්... මංජුලා කුමාරි


ඕලු සමඟ කතාකරන්න සෑහෙන දවසක ඉඳලා අප උත්සාහ කළා. ඒ ඔබ අදටත් ඕලුට ආදරේ නිසා. ඒත් අප ඇයට කතා කිරීමට ගත් උත්සාහය අසාර්ථක වුණේ ඇගේ සිඟිති දරු පැටියාගෙ කටයුතු වෙනුවෙන් ඇය කැපවී සිටි නිසයි. ඉතින් අපි ඒ කිරි කැටියාට බාධා කළේ නැහැ. ඔන්න ඒ අතරේ අපට අවස්ථාව ලැබුණා ඇයට කතා කිරීමට. මංජුලා කුමාරි කියූ සැණින් කවුරුත් දන්න ඕලු අපත් සමඟ කෙටි කතාබහකට සම්බන්ධ වුණේ මේ විදිහට.

අම්මයි, පුතයි දෙන්නම පාසල් යන්න පටන් අරගෙන වගේ නේද මංජුලා?

පුතා නම් පෙරපාසල් යනවා. පුතාගේ වැඩකටයුතු, දුවගේ වැඩකටයුතු මගේ අතින්ම තමයි සිදුවෙන්නේ. මගේ ජීවිතයේ වැඩිහරියක්ම දුවයි, පුතයි එක්ක තමයි ගතවෙන්නේ.

පසුගිය දවසක මංජුලා තට්ටු දෙකේ ඉස්කෝලෙටත් ගොඩවුණා නේද?

ඔව්. ලලිත් රෝහිත අධ්‍යක්ෂණය කරන ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ චිත්‍රපටයේ මම ගුරුවරියකගේ චරිතයක් නිරූපණය කරනවා. කාලෙකට පස්සේ තමයි චිත්‍රපටයකට සම්බන්ධ වුණේ. නිර්මාණවලින් ආරාධනා නම් එනවා. ඒත් බබාලා දෙන්නා එක්ක ඉන්න ඕනෙ. ඔවුන් වෙනුවෙන්ම කාලය ගෙවන්න මම ගොඩාක් කැමති ඒ නිසා නිර්මාණවලට සමබන්ධ වුණේ නැහැ.

මේ දවස්වල නම් මංජුලා පිට වැඩවලටත් සම්බන්ධ වෙනවා කියලා ආරංචි වුණා?

ලබන සතියේ අපේ නිවෙසට කඨින චීවරය වඩම්මනවා. මේ දවස්වල එහි වැඩකටයුතුවල නියැළිලා තමයි ඉන්නේ. කළුබෝවිල සාරානාත් විහාරස්ථානය තමයි අපේ දායක පන්සල. ඉතින් අපි හිතුවා මෙවර කඨින චීවරය අපේ නිවෙසට වැඩම කරවන්න.

ඔබේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ‘ඕලු’ නේද?

මම ගොඩක් වාසනාවන්තයි. මොකද මොන තරම් ටෙලි නාට්‍ය රඟපෑවත් ප්‍රේක්ෂකයන්ට මාව මතක ඕලු විදියට. ඒ තරමට ඕලු ටෙලිනාට්‍යයට ප්‍රේක්ෂකයන් ග්‍රහණය වෙලා කියලා මට හිතෙනවා. මේ වගේ වාසනා ගුණයක් හැම කෙනෙක්ටම ලැබෙන්නේ නැහැ. මගෙත් පෙර වාසනාවකට තමයි ‘ඕලු’ චරිතය මට ලැබුණේ. ස්වර්ණවාහිනී ආයතනයෙන් තමයි මාව යෝජනා කරලා තියෙන්නේ ඕලුගේ චරිතයට. ඒ වගේම ෂර්ලි දෙලංකාවලටත්, ඕලු නාට්‍ය කණ්ඩායමටත් මම ස්තුතිය පුදකරනවා.

ඔබ දෙදරු මවක් නිසා සැමියාගේ විරෝධයක් නැද්ද පෙම්වතියගේ චරිත රඟපානවට?

එයා කවදාවත් මට විරෝධයක් දක්වලා නැහැ. එහෙම ප්‍රශ්න මතුවෙලත් නැහැ. මතුවෙන්නෙ නැහැ කියන්නත් මම දන්නවා. අනෙක එයා අකමැති නැහැ මම පෙම්වතියගේ චරිත රඟපාන එකට. හොඳ තිරපිටපත් තෝරා බේරාගෙන තමයි මම රඟපාන්නේ. පසුගිය දවසක සුවිශේෂී නිර්මාණ පිටපතක් මට ලැබුණ. ඒ චරිතයට මම ගොඩක් දුරට කැමැතියි. ඉතින් ළඟදීම මම ඒ ටෙලිනාට්‍යයට සම්බන්ධ වේවි.

මංජුලා පුංචි තිරයේ බෙදාහදා ගන්න චරිත වගේමද සැබෑ ජීවිතයේදීත්?
මම ගොඩක් සංවේදී කෙනෙක්. හැම දෙයක්ම තේරුම්ගැනීමේ හැකියාවක් මට තියෙනවා. අනෙක් කාරණය මම සැලැසුම්සහගතව පිළිවෙළකට ජීවිතය දිහා බලන කෙනෙක්. මට ආදරේ කරන්නේ කවුද? මම ඔහුට ගෞරවය කරනවා.

කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පීන් විවිධ ව්‍යාපාර ආරම්භ කරනවා. මංජුලාගේ එහෙම අදහසක් නැතිද ව්‍යාපාර කටයුත්තකට අතගහන්න?

ඒක තමයි මගේ මීළඟ සැලැසුම. දැනටමත් ඒ වෙනුවෙන් වැඩකටයුතු කරගෙන යනවා. මංගල ඇඳුම් ව්‍යාපාරයක් පටන්ගන්න තමයි අදහස. විදෙස් රටවල සංචාරවල ගියාම විවිධාකාර කලාත්මක දේවල් දැකගන්න ලැබෙනවා. ඒ වෙලාවට හිතෙනවා මේ දේවල් ලංකාවෙත් අලෙවි කළා නම් හොඳයි කියලා. එහෙම හිතලා තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට යොමුවුණේ.

තවත් බොහෝ දෑ ඇය සමඟ කතා කිරීමට තිබුණත් පුංචි දෝණි එයාට ඉන්න දුන්නෙම නැහැ. ඉතින් මංජුලාගේ කැදැල්ලටම සුබාශිංසන එකතු කරමින් අපේ කතාබහ අවසන් කරන්නට අපට සිද්ධවුණා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads