කාලෙන් කාලෙට විවිධාකාර සිදුවීම් මුහුණපොත හරහා ජනප්‍රිය වෙනවා. එහෙමත් නැත්නම් මුහුණුපොත පරිශීලනය කරන්නන් සංවේදී කරනවා. එහෙම ජනප්‍රිය වෙන එහෙම කතා කරන බොහෝ සිදුවීම් හැම හදවතකටම යම් ඉඟියක් දෙනවා. එහෙමත් නැත්නම් යම් අවබෝධයක් ලබාදෙනවා. කෙටියෙන් කියනවා නම් එවැනි සිදුවීමකින් ජීවිතයකට ගත හැකි පාඩම් බොහෝමයි. ඉතින් එවැනි අවස්ථාව ගැන පසුගිය දිනවල මුහුණු පොතේ හුවමාරු වූ අතිශය සංවේදී සටහනක් ගැන ‘හාට්’ අවධානය යොමුවුණා. මේ අවස්ථාව ‘හාට්’ එකට විශේෂ වෙන්නත් සුවිශේෂී හේතුවක් වුණා. ඒ තමයි ලංකාවේ දක්ෂ ජනප්‍රිය කලාකරුවන් දෙදෙනකු මේ සිදුවීමට සම්බන්ධ වීම. ඉතින් මෙය මධුමාධව අරවින්ද මුහුණදුන් අතිශය සංවේදී අවස්ථාවක් පිළිබඳව ඔහු ඔහුගේම වචනවලින් කළ අපූරු සටහනක්. මේ සංවේදී සටහනෙන් සමාජයට ලබාගත හැකි යමක් ඇතැයි සිතුණු නිසාම අපි මෙලෙසින් ඉඩකඩ වෙන් කිරීමට තීරණය කළෙමු.
ඔබ දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ…
දිගුකල් ජීවත් වෙන්නකෝ…
නෝනට පෙන්නන්න හිටපු නෝන එක්ක පින්තූරයක් ගත්ත.
ලෝකේ ඉන්න හොඳම බිරිඳට පෙන්නන්න ලෝකෙ ඉන්න හොඳම අම්මගෙ පින්තූරයක් ගත්ත. පස්සෙ හිතුව ලෝකෙ ඉන්න හොඳම හිතවතුන් වෙන ඔබටත් මෙය පෙන්නන්න. ලෝකෙ ඉන්න හොඳම අනුන්ගෙ කුණු හොයන ආදරණීය කුහකයන්ටත් මේක බලල මගෙ කසාද ගාන ගණන් කරල පොරක් වෙන්න පුළුවන් තමන්ගෙ අතීතය ගැන ලෝකෙන්ම වසන් කරල.
ඇත්තක් වෙන්න හැමෝටම බෑ…
මධුමාධව නිල්මිණිට ගැහුව, මැරුව කියල බුකියෙ ලියන ගොඩාක් අයට තමන්ගෙ ජීවිතේ හෙවණ දුන්න අතීත තැනක් තම බිරිඳට කියන්න බෑ, සැමියට කියන්න බෑ. එක්කො තමන්ගෙ කලින් සම්බන්ධතාවලට බැනල තම ඊළඟ සම්බන්ධතාවය හදා ගන්නෙ. එහෙම තමන් කා එක්කවත් කලින් යාළුවුණේ නෑ කියල පට්ටපල් බොරු පළන අය. ජීවිතේ ප්‍රේම සම්බන්ධතා කැඩිල, ඒව ලෝකෙන් වහල, තමන්ගෙ අලුත් සම්බන්ධතාවයන් ළඟ එකිනෙකා රවට්ටන, අන්දන අය.
බුකියෙ ලියනව “මධුමාධවගෙ පරණ විවාහ දෙදෙරුව කියල”
තමන්ගෙ පැරැණි සම්බන්ධතා වහපු සමහර අය මට කියනව,
“අනේ ඔය දෙන්න එකතු වෙන්න තිබ්බෙ කියල.”
සම්බන්ධතා ඇති වෙනව වගේම නැතිවෙන එක දරා ගන්න හැමෝටම බෑ. හොඳක් වෙන්න කියල පතන්න තමන්ගෙම වෙන්න ඕනෙ. ගොඩක් අයට. සම්බන්ධතා ඉවර වුණත් හොඳක් පතන්න පුළුවන් මිනිස්සුත් ලෝකෙ ඉන්නව. ඇය රාගම රෝහලේ පණ අදිනකොට දින 14 නොකඩවා කළ හැකි හැම දේම කළෙත්, අපි සම්බන්ධතා නතර කර ඇති මොහොතක.
“දිගුකල් ජීවත් වෙන්න කෝ” කියල ගීතවල තිබ්බට කවුරුත් එහෙම නොකරපු ලෝකයක,
නැවත එකතු නොවීත් දිගුකල් ජීවත් වෙන්න පතන්න පුළුවන් කතාත් ජීවිතේ තිබුණ.
පැරැණි සම්බන්ධතාවලට හෙණ ඉල්ලමින් අලුත් සම්බන්ධතා හදා ගන්නා ලෝකයක, ජීවිතේ ඉතිහාසයේ මට හෙවණ දුන්න ඇය හමුවුණා.
ඊයේ “දුකාට 50යි”
වසන්ත දුක්ගන්නාරාල මගෙ ආදරණීය මිතුරට අවුරුදු පනහයි.
මමත් මගෙ මිතුර අනුරත් ගියා දුකාට මනෝජට දරුවන්ට සුබ පතන්න. ඉතිං ඇයත් ඇවිත් හිටියා. ඔව් නිල්මිණි ඇවිත් හිටිය.
පිටවෙලා යනකොට තමා මූණට මූණ අපි හමුවුණේ.
ඉතිහාසයේ, ජීවිතේ හෙවණක් වුණ ආදරණීය ඇයට පරිස්සමට ඉන්න බුදු සරණයි කියල එන්න පින්තූරයක් ගමු, කියනකොට ඇය පුදුම වුණා.
මගෙ මිතුරා අනුරත් එතැන හිටියා. නිල්මිණිව වගේම නිලූවත් දන්න අනුරත් ඇය එක්ක කතා කළා. දරුවව මලක් වගේ බලන ඇය ලෝකෙ ඉන්න හොඳම අම්මා. ඇයත් සන්තෝසෙන් අත වනල අපිට සමුදුන්න. මම ගෙදර ආපු හැටිය මේ හමුවීම ගැන මගේ නෝනට කිව්ව.
පින්තූරෙ පෙන්නුව.
ඇය කට පුරා නිල්මිණි අක්ක ලස්සන වෙලා කියල කිව්ව. මට ජීවත් වෙනව වගේ දැනුණ. ස්තූතියි මට ඇත්තක් වෙන්න දීල මගේ අතීතයට වැඳල, හිටපු ආදරණීයන්ට ගරු කරන්න අවසර දුන්නට. මම එනකම් ඔයාට හෙවණ දුන්න හැමෝටම මම ගරු කරනව කියපු කෙනාව තමයි මම බැන්දේ. ජීවිතය කියන්නෙ අපි මැරිල කුණුවෙලා හෝ පිච්චිලා යනකම් පිරිල ජීවත් වෙන තැනක්.
ජීවත් වෙන ගමන් මැරිල පිච්චිල යන්න ඕනෙ නෑ. අතීතයට ගරු කරල. ලැබුණ, නැතිවුණ හැම තැනටම ආදරෙන් සමු දෙන්න කවද දෝ කවුරුදෝ මට කියල දුන්න. මට දවසක් හරි ආදරේ කළ හැමෝටම නරකක් වෙන්න එපා කියල පතල මං ඇස් වහගත්ත. උදේ මගෙ නෝන ලස්සන පණිවුඩයක් මට ලියල දුරකතනයට එවල.
නිල්මිණිටත් නිරෝගී සුව ඇය පතල තිබුණ. අන්තිමට මෙහෙම ලියල තිබුණ.
“මහත්තයො ඔයා ඇත්තක්”
ජීවිතේ ආදරයෙන් ගෙවන්න කියවන ඔබටත් ලිව්ව මටත් අපි හැමෝටමත් ලැබේවා….
අපි ළංවෙන්නෙ
උපතට නෙවෙයි විපතට.
මුකුත්ම අරන් යන්න බැරි නිසා.
හැම දේම සමරල මරමු.
ජීවිතේ සමරමු අන්තිමට අපි මැරෙමු.


