කෝවිඩ් 19 ආසාදනය වූ මගීන් පිරිසක් හමුවීම හේතුවෙන් තවත් සුඛෝපභෝගී මගී නෞකාවක් අමෙරිකාවේ කැලිෆෝනියා මුහුදු සීමාවේ මේ වනවිට රඳවා තිබෙනවා.
‘‘ග‍්‍රෑන්ඞ් පි‍්‍රන්සස්’’ ලෙස හඳුන්වන මෙම නෞකාව තුළ රටවල් 50 ක් පමණ නියෝජනය කරන මගීන් හා කාර්යය මණ්ඩල සාමාජිකයින් 3533 දෙනෙකු සිටින බව වාර්තා වෙනවා.
ඉන් 2422 දෙදෙනෙකු මගීන් වන අතර කාර්යය මණ්ඩල සාමාජිකයින් 1111 ක් නෞකාව තුළ සිටිනවා. මගීන්ගෙන් 100 කට අධික පිරිසක් බි‍්‍රතාන්‍ය ජාතිකයින්. ඒ අතර ඕස්ටේ‍්‍රලියානු ජාතිකයින් පිරිසක් ද එහි සිටින බවත් සඳහන්.
සැන් ෆ්රැන්සිස්කෝ සිට හවායි දක්වා සති දෙකක සංචාරයක් ආරම්භ කළ මෙම නෞකාව අද දිනයේ යළිත් සැන් ෆ්රැන්සිස්කෝ වෙත ළගාවීමට නියමිතව තිබුණා.
කෙසේ නමුත් නෞකාව තුළ සිටි පුද්ගලයින්ගෙන් 21 දෙනෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් නෞකාව මෙලෙස කැලිෆෝනියා මුහුදු සීමාව තුළ රඳවා තබා තිබෙනවා.
වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පිරිස අතර මගීන් දෙදෙනෙකු හා කාර්යය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
හඳුනා ගැනුනු ආසාදිතයින්ගෙන් ඇතැමුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කිරීමට නියමිත අතර වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය පිරිසට එම ප‍්‍රතිකාර ලබාදීමටයි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙලිකොප්ටර් යානයක් මගින් නෞකාව තුළට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සිදු කරනු ලබනවා. වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය පිරිස් එම හෙලිකොප්ටර් යානය මගින් සැන් ෆ්රැන්සිස්කෝ වෙත රැගෙන යන බවත් සඳහන්.
කෙසේ වෙතත් නෞකාව තුළ සිරවී සිටින අනෙක් පිරිස සම්බන්ධයෙන් ගන්නා කි‍්‍රයාමාර්ගයක් මෙතෙක් අනාවරණ කර නැහැ.
නෞකාව අමෙරිකානු වරායක් වෙත ගෙන ඒමට බලධාරීන් උත්සහ දරමින් සිටින නමුත් එය රට තුළට ඇතුළු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙතෙක් අවසර ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.