බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන්නිල සහ චීන කොටුව ග්‍රාම නිලධාරී වසම් දෙකෙන් කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් 219 දෙනෙකු අතරින් අද (14) වන විට තවත් පුද්ගලයන් හත් දෙනෙකු බේරුවල කොරෝනා ආසාදිත සංඛ්‍යාවට එකතු වී ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.
ඒ මහතා ප්‍රකාශ කළේ මෙතෙක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හමු වූ මුළු රෝගීන් සංඛ්‍යාව අද (14දා) වන විට 34 දක්වා වැඩිවී ඇති බවයි.
බේරුවල කොරෝනා රෝගීන් දිනෙන් දින ඉහළ යාම සම්බන්ධයෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් , බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න , උසස් යුධ හමුදා හා පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගේ ප්‍රධානත්වයෙන් අද(14) බේරුවලදී සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා ප්‍රකාශ කළේ පන්නිල ,චීන කොටුව යන ග්‍රාම නිලධාරි වසම් වලට යාබද කරඳගොඩ, අඹේපිටිය, අක්කරගොඩ ,මරක්කල වත්ත යන ග්‍රාම නිලධාරී වසම් හතරද හුදෙකලා සීමා වැඩිකර කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි .
මෙම ග්‍රාම නිලධාරී වසම් සියල්ලම බේරුවල පොලිස් වසමට අයත් වන අතර එම ගම්මාන ආවරණය වන පරිදි යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් 140දෙනකු මේ වන විට යොදවා ආරක්ෂක මුරපොළවල් ශක්තිමත් කර ඇති බවත් සඳහන් කළා.
යුද හමුදා ආරක්ෂාව යුද හමුදාවේ බ්‍රිගේඩියර් වරයකු යටතේ ක්‍රියාත්මක කර ඇති අතර මෙම බේරුවල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ගම්මාන වෙත අද සිට නැවත දැනුම් දෙන තුරු පිටස්තර කිසිවෙකුට ඇතුළුවීමට සහ පිටවීමට ඉඩ නොලැබෙන අතර අත්‍යවශ්‍ය සේවා සියල්ල යුද හමුදාව හා පොලීසිය මැදිහත් ව ක්‍රියාත්මක කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.
බේරුවල හුදකලා ගම්මාන වෙත පිවිසිය හැකි සියලුම අතුරු මාර්ග ආවරණය වන පරිදි යුද හමුදාවේ සහ පොලීසියේ ආරක්ෂාවට යොදවා තිබෙනවා.


