කොවිඩ් 19 රෝගය උත්සන්න වීම හේතුවෙන් මරණයට පත්වන රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීමේ පරිපාටිය සම්බන්ධව සමාජය තුළ විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා.
මේ පිළිබඳව දක්වමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නේ නෙදර්ලන්තයේ අපජලයේ වයිරසය හමුවී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඇය දක්වන අදහස පහතින් කියවිය හැකියි.
සුසාන භූමි වනාහි භූගත ජල මූලාශ්‍රවල ගුණාත්මකභාවය හීන කරමින් විශාල ලෙසින් දූෂක ජල මූලාශ්‍රවලට එක්කරන ජල දූෂක ප්‍රභවයක් ලෙස හඳුනාගත හැකි බව නොයෙක් රටවල සිදුකරන ලද විද්‍යාත්මක නිරීක්ෂණයන් මඟින් පෙන්වා දී තිබෙනවා.
රසායනික අයන හා සංයෝග මෙන්ම බැක්ටීරියා හා වයිරසද එම සුසාන භූමි තුළ මිහිදන් කෙරෙන මෘත දේහ දිරාපත් වීමෙන් පරිසරයට නිදහස් වන බවත් පැහැදිලියි.
බහුලව ගත්කල මෙම බැක්ටීරියා සහ වයිරස ශරීරවල ආහාර ජීර්ණ පද්ධතියේ වාසය කරන්නවුන් බවද දැකිය හැකියි.
දැනට හඳුනාගෙන ඇති ආකාරයට මෘත ශරීරයක් මිහිදන් කළ පසු එය ජීර්ණය වීමේදී ශරීර බර කිලෝග්‍රෑම් 1කින් අපජලය ලීටර් භාගයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් වන බව කියැවෙනවා.
එහෙත් මෙම අගය පාරිසරික සාධක මත එනම් වැඩි උෂ්ණත්ව හා වැඩි වර්ෂාපතන තත්ත්වයන් මත මීට වඩා වෙනස් වීමේ හැකියාව පවතිනවා. ශරීර ස්කන්ධය දිරාපත් වීමේදී එකතු වන රසායනික අයන හා සංයෝග අතර ද්‍රාව්‍ය කාබන්, නයිට්‍රේට්, පොස්පේට්, ක්ලෝරයිඩ් ආදිය බහුල වශයෙන් පරිසරයට නිදහස් වනවා.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ සිදුවෙමින් පවතිනවා. නෙදර්ලන්තයේ අපජලයේ වයිරසය හමුවී ඇති බව සඳහන් වාර්තාවක් මා දුටුවා.
කොහොම වුණත් සුසාන භූමි මඟින් නිකුත් වන අපජලය සමඟ වයිරසය ප්‍රවාහනය වී ළිංවලට එක්වී ඇති බව දැනට පළවී ඇති විද්‍යාත්මක පත්‍රිකාවල පෙන්වා දී තිබෙනවා.
මෙසේ පරිවහනය වීමට නොයෙකුත් හේතු බලපානවා.පසෙහි දූෂක ප්‍රවාහනය ඉක්මන් වීම සඳහා බලපාන සාධක අතර අධික වර්ෂාපතනය ප්‍රධානයි.මීට අමතරව පසේ ස්වභාවය එනම් වැලි මිශ්‍ර පසක්ද මැටි සහිත පසක්ද යන්න මතද ප්‍රවාහන ශීඝ්‍රතාව රඳා පවතිනවා. අධික ලෙස ජලය පොම්ප කරන ළිං ආසන්නයේ ඇත්නම් එවිටද ප්‍රවාහන ශීඝ්‍රතාව වැඩි වනවා.
වයිරස් ආසාදිත ශරීර මිහිදන් කිරීම අතිශය භයානකයි. මෙහිදී ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේදී අපගේ සුළු නොසැලකිල්ල අනාගතයේ නැවත වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට පවා හේතුවිය හැකියි.
වයිරසයන්ගේ බිහිසුණු බව රැඳී පවතින්නේ වෙනස් වීම (mutate) සඳහා ඒවාට ඇති හැකියාව හේතුවෙනි. මේ අවස්ථාවේ අප කළයුතු වන්නේ මෙම වසංගත තත්ත්වයෙන් මිදීම පිණිස සියලු වීර්යයන් දැරීමය. වයිරසය නව ස්වරූපයකින් මතුවීමට ඉඩ ඇති බැවින් වයිරසය සිටිය හැකි සියලු අපද්‍රව්‍ය හරිහැටි විනාශ කළ යුතුමය. එබැවින් කොවිඩ් 19 ආසාදිතව මියගිය මෘත ශරීර මිහිදන් කිරීමට තීරණය කළහොත් එය මහත් අනුවණකමකි.
දැනට සිදුකෙරී ඇති විද්‍යාත්මක පර්යේෂණ ගවේෂණය කරද්දී හමුවූ පත්‍රිකාවක සඳහන් අන්දමට හොංකොංහි 2003 වසරේ හමුවූ සාර්ස් නම් වූ කොරෝනා වයිරසය විවිධ මාර්ග ඔස්සේ සංක්‍රමණය වන බව පැහැදිලි කර තිබෙනවා. එහි සඳහන් කර ඇති ආකාරයට සත්ත්වයන්ගෙන් හමුවන කොරෝනා වයිරසය ජලයේ සහ අපවහනවල වසරක් වැනි කාලයක් පැවැතිය හැකිය.


