රටවල් 4ක් හැරෙන්න මේ වනවිට ලොව අනෙක් රටවල් සියල්ල කොරෝනා වසංගත තත්වයට ගොසුරුවී අවසන්. චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් මෙම වසංගතය ආරම්භ වුවද මේ වනවිට එයින් දැඩි හානි සිදුව ඇති රටවල් අතර චීනය සිටින්නේ 11 වන තැනයි.
චීනයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 82,883ක් වන අතර සිදුවූ මරණ සංඛ්‍යාව 4,633ක්. මේ වනවිට කොරෝනා නිසා දැඩි හානි සිදුවූ රටවල් අතර පෙරමුණේ පසුවන්නේ ඇමෙරිකාවයි.
හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ගණන අතින් මෙන්ම කොරෝනා මරණ ගණන අතින්ද ඇමෙරිකාව ලොව පළමු තැන සිටිනවා. මේ වනවිට අමෙරිකාවෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 1,253,387ක්. සිදුව ඇති මරණ ගණන 73,667ක්. වැඩිම පිරිසක් කොරෝනා වසංගතයට ගොදුරු වූ රටවල් අතර දෙවන තැන ස්පාඤ්ඤයත්, තෙවන තැන ඉතාලිය සහ සිව්වන තැන එක්සත් රාජධානියත් ගෙන තිබෙනවා.
කෙසේවෙතත් කොරෝනා මරණ අතින් ඇමෙරිකාව පළමු තැන සිටිද්දී දෙවන තැන එක්සත් රාජධානියට හිමිව තිබෙනවා. එහි තෙවන තැන ඉතාලියත්, ස්පාඤ්ඤයත් සහ ප්‍රංශය සිව්වන සහ පස්වන තැනත් රැඳී සිටිනවා.
කෙසේවෙතත් පොදුවේ ලොව පුරා මිනිසුන් මිලියනයක් ගතහොත් ඉන් 474 කට කොරෝනා ආසාදනය වී ඇති බවයි නවතම ගණනය කිරීම් වලදී හෙළිව ඇත්තේ. නමුත් මෙම ගණන එක් එක් රටවලට වෙනස් වනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳව සලකා බැලුවහොත් මිනිසුන් මිලියනයකට 37 දෙනෙකු කොරෝනා ආසාදිතයන් වී ඇති බවයි Google ප්‍රවෘත්ති සේවාවේ සඳහන් වන්නේ.


