Type Here to Get Search Results !

කොළඹ මහ නගර සභාව පිහිටු වන්න විපක්ෂය සමඟ එකතු වෙනවා..


 එක්සත් ජාතික පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ මහ නගර සභාවේ සිදු කළ කාර්යක්ෂම සේවය දිගටම පවත්වා ගෙන යෑම සඳහා එහි බලය පිහිටු වීමට විපක්ෂයේ වැඩි ඡන්ද ලබාගත් පක්ෂය සමඟ එකඟතාවකින් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය.


කොළඹදී පැවති මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.


එහිදී රත්නායක මහතා මෙසේද කීය.


“ජනතාවට බොරු නොකර වැඩ කරන පාලනයක් ලබාදීම සඳහා විපක්ෂයට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ඇති ආයතනවල බලය පිහිටු වීමට එක්සත් ජාතික පක්ෂය එම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡාවල නිරත වී සිටිනවා.


අප පක්ෂය දීර්ඝ කාලයක් කොළඹ මහ නගර සභාවේ බලය දරමින් සිදු කළ ඒ කාර්යක්ෂම විශිෂ්ට සේවය දිගටම පවත්වා ගෙන යෑම සඳහා කටයුතු කරනවා.


බලය පිහිටුවීම සඳහා අප සන්ධානගත වීමක් සිදු කරන්නේ නැහැ. සියලු දෙනා එකඟතාවකින් සහයෝගයෙන් බලය පිහිටු වනවා. එසේ කටයුතු කිරීමේදී කවුරු කාට සහයෝගය ලබා දෙනවා ද යන්න නොව වැදගත් වෙන්නේ ජනතාවට සේවය කිරීමයි.


සමගි ජන බලවේගයත්, අපත්, අපට වඩා ආසන ලබාගත් විපක්ෂයේ අනෙක් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සාකච්ඡා කරන්නේ බලය පිහිටුවීම ගැනයි. අප නගරාධිපති ධුරය සඳහා ඉල්ලීමක් කර නැහැ.


මැතිවරණයට පෙර එකතු වී තරග කරන්න අප උත්සහ කළා. එහිදී සමගි ජන බලවේගය පැවසුවේ එරාන් වික්‍රමරත්න මහතා කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස නම් කර එයට සහයෝගය ලබා දෙන ලෙසයි. එය සාර්ථක කරගන්න බැරි වුණා. නගරාධිපතිවරයා ලෙස නම් කරන තැනැත්තා හැමෝටම පිළිගත හැකි අයෙක් විය යුතුයි. විපක්ෂයේ වැඩිපුර ඡන්ද ගත් පක්ෂය හැමටම පිළිගත හැකි අයකුගේ නමක් යෝජනා කළොත් ඒ සඳහා විපක්ෂයේ අනෙක් කණ්ඩායම් සහයෝගය ලබා දේවි. මෙතැනදි සිදු වන්නේ කාටවත් සහයෝගය දීම නොව ජනතාවට සේවය කිරීමයි.


– ශිරෝමි අබයසිංහ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads