සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඩොලර් මිලියන 2.5 සයිබර් අපරාධය, දශක ගණනාවක සිට එම පද්ධතියේ පැවති පාලන ක්‍රියාපටිපාටිවල දුර්වලතාවල ප්‍රතිඵලයක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙය මෑතකදී පිහිටුවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිසා ඇතිවූවක් නොව, දීර්ඝ කාලයක සිට පැවති පරිපාලනමය හිස්තැන් නිසා සිදුවූවක් බවයි.
අදාළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රගතිය ඉදිරියේදී සභාවට දැනුම් දෙන බව ද ඔහු පැවසීය.
විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මේ පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් කර නොතිබුණ ද, ශ්‍රී ලංකා CERT ආයතනය විසින් අදාළ ඊමේල් සර්වරයේ පැවති අනාරක්ෂිත බව පිළිබඳව මීට පෙර දැනුවත් කර තිබූ බව ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරන තෙක්, දැනට සිදුකරන සියලුම ගෙවීම්වලට අදාළ ලේඛන භෞතිකව පරීක්ෂා කර, ඒවායේ නිවැරදිභාවය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ගෙවීම් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


