සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මැදපෙරදිග නොසන්සුන්කාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල, විදේශිකයන් රැඳී සිටින හෝටල් සහ ප්‍රසිද්ධ සංචාරක ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට පොලිසිය පියවර ගෙන ඇත.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් තානාපති කාර්යාල හෝ සංචාරකයින් ඉලක්ක කරගනිමින් ඇති විය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා හෝ විරෝධතා වළක්වා ගැනීම මෙම තීරණයේ අරමුණයි.
පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සංචාරක පොලිස් කොට්ඨාසය ඇතුළු අදාළ අංශ මේ වන විටත් ආරක්ෂක කටයුතු ශක්තිමත් කර තිබේ. විශේෂයෙන්ම මෙරට පිහිටි 'චබාඩ්' (Chabad) මධ්‍යස්ථාන වෙත පැය 24 පුරා ආරක්ෂාව සැපයීමටත්, රාජ්‍ය තාන්ත්‍රික කලාප සහ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානවල දිවා රාත්‍රී මුර සංචාර ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් දී ඇත.
'චබාඩ්' මධ්‍යස්ථාන යනු ලොව පුරා විසිරී සිටින යුදෙව් ජාතිකයන්ගේ, විශේෂයෙන්ම ඊශ්‍රායල ජාතිකයන්ගේ ආගමික සහ සමාජයීය අවශ්‍යතා වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන ප්‍රජා මධ්‍යස්ථාන වේ.
කෙසේ වෙතත්, මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුව දැඩි නිලධාරී හිඟයකට මුහුණ දී සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පවසති. මේ හේතුවෙන් තානාපති කාර්යාල සඳහා පැය 24 පුරා ස්ථාවර ආරක්ෂාවක් සැපයීම අභියෝගයක් වී තිබේ.
මීට අමතරව, කොළඹ ප්‍රදේශයේ දැනට පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරගවල පිරිස් පාලනය සහ රථවාහන හැසිරවීම සඳහා විශාල නිලධාරීන් පිරිසක් යොදවා තිබීම ද මෙම තත්ත්වයට බලපා ඇත. එහෙත් එම තරග අවසන් වූ පසු එම නිලධාරීන් ද ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට නියමිතය.


