සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීම බලාගාරයේ පවතින දෝෂයක් නිසා සිදුවූවක්ද නැතහොත් ගල් අගුරු සාම්පල වාර්තා වංචනික ලෙස වෙනස් කිරීමක් නිසා සිදුවූවක්ද යන්න පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක් පවත්වන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක‍්‍රම් ඉල්ලෙයාස් මහතා පවසයි.
ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දෙවන නැව් වාරයේ සිට අටවන නැව් වාරය දක්වා කාලය තුළ බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීමක් පෙන්නුම් කළද, එම නැව් වාරවලදී ගොඩබෑම් වරායේදී සිදුකළ පරීක්‍ෂණවලින් සහ වරාය වාර්තාවලින් ගල් අගුරු දෝෂ රහිත බවට සහතික වී ඇති බව ඉල්ලෙයාස් මහතා අනාවරණය කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගොඩබෑම් පරීක්‍ෂණවලින් ගල් අගුරු ‘සමත්’ වී තිබියදී බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීම සැකයකට කරුණක් බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, බලාගාරයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පවතින සැකය දුරු කර ගැනීම සඳහා ගල් අගුරු සාම්පල නැවතත් ප්‍රතීතනය ලත් තෙවන පාර්ශවීය රසායනාගාරයක් වෙත යොමු කර ඇති බවයි.
යම් හෙයකින් මෙම තත්ත්වය බලාගාරයේ දෝෂයක් නොවී, කිසියම් වංචාවක් හෝ වාර්තා වෙනස් කිරීමක් නිසා සිදුවූවක් බව තහවුරු වුවහොත්, එම සම්පූර්ණ අලාභය අදාළ සැපයුම්කාර සමාගමෙන් අය කරගන්නා බව ඔහු අවධාරණය කළේය.
එවැනි වංචාවක් අනාවරණය වුවහොත් එම අලාභය පියවා ගැනීම සඳහා සැපයුම්කරු විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 15ක බැඳුම්කරය සහ දැනට රඳවාගෙන ඇති ගෙවිය යුතු මුදල් කොටස භාවිත කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
එහෙත්, මෙම ගැටලුව බලාගාරයේ පවතින දෝෂයක් නිසා සිදුවූවක් බව පරීක්‍ෂණවලින් හෙළි වුවහොත්, එම පාඩුව දරා ගැනීමට රජයට සිදුවන බවද ඔහු අවංකවම පිළිගත්තේය.
කෙසේ වෙතත්, පළමු නැව් වාර නවය තුළ සිදුවූ අලාභය වෙනුවෙන් දැනටමත් ඩොලර් මිලියන 2.1ක (රුපියල් මිලියන 650ක පමණ) දඩ මුදලක් ගණනය කර ඇති බවත්, සිදුවන අලාභය ජනතාව මත පැටවීමට ඉඩ නොතබන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය


