සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පවතින පරිවර්තනය ආපසු හැරවීමට හෝ ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට කිසිවෙකු හෝ උත්සාහ කරන්නේ නම්, එවැනි ඕනෑම ස්ථානයකට අවසරයකින් තොරව කඩා වැදී හෝ වත්මන් පාලනය ආරක්ෂා කිරීමට තමන් සූදානම් බව ලංකා විදුලි සේවක සංගමය අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණු ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික මහා සමුළුව අමතමින් එම සංගමයේ හිටපු ලේකම් වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා මෙම අදහස් පළ කළේය.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් ජයලාල් මහතා මෙසේද සඳහන් කළේය.
"අපේ සටන තවම ඉවර නැහැ. ලංකා විදුලි බල මණ්ඩලය විකුණා පෞද්ගලික වාසි තකා කටයුතු කළ පිරිස් මේ පරිවර්තනයට එරෙහි වුණා. අපි විශ්‍රාම ගොස් සිටියත්, තවමත් මේ ක්ෂේත්‍රය තුළ දැවැන්ත අභියෝගයක්ව පවතිනවා. පාර්ලිමේන්තුවට අදාළ පනත් ගෙන එන අවස්ථාවේදී පවා අපේ සටන් ක්‍රියාත්මක වුණා.
මේ රටට සහ ලබාගත් ජයග්‍රහණයට හානි කිරීමට පිරිසක් මාන බලමින් සිටිනවා. ඔවුන් එසේ කරන්නේ අප නිදාගන්නා සුළු මොහොතේදී විය හැකියි. නමුත් අපි සැමවිටම සිටින්නේ ඇස් ඇරගෙනයි. අපේ මේ සෝදිසිය ගැන විරුද්ධවාදීන් බියක් තබාගත යුතුයි. මන්ද අප සමඟ සිටිමින්ම කකුලෙන් අදින පිරිස් ගැනත් අපට අවබෝධයක් තිබෙනවා.
අවශ්‍ය ඕනෑම මොහොතක, ඕනෑම තැනකට අනවසරයෙන් කඩා පැනලා හෝ මේ ආණ්ඩුව සහ ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. ඒ සඳහා අපට කාගෙවත් අවසරයක් අවශ්‍ය නැහැ. අපි සිල් ගත්ත නයින් නෙමෙයි. ඕනෑම මොහොතක පරිවර්තනය වෙමින් මේ ක්‍රියාවලිය පෙරලන්න ඉඩ නොදී ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා’


