Type Here to Get Search Results !

වැදිකුඹුර ගමේදී කැප්පටිපොළ නිළමේ සුද්දන් සමග යුද වැදුනු හැටි හෙලිවෙයි


මේ රටේ කැලෑ විනාශය ඉතා ශීඝ්‍රයෙන් සිදුවන විට තමන්ගේ ඉඩමේ ඇති සහ කැලෑව ආරක්ෂා කර ගන්නා අපූරු චරිතයක් පසුගියදා හමුවිය. ඔහු නමින් එම්.කේ. නිමල් සේනාධීරය. තමන්ට පරම්පරාවෙන් හිමි වූ අක්කර 150ක භූමිය අද වන විට මහ වනාන්තරයකි. ස්වාභාවික වනාන්තර පද්ධතියට අයත් මේ භූමිය තුළ බොහෝ වටිනා ගස් වර්ග මෙන්ම මෙරටට ආවේණික ගස් වර්ගද තිබීම විශේෂත්වයකි. අක්කර 150ක වනාන්තර භූමිය පිහිටා ඇති මායිමේ පෙර රජ දරුවන් මෙන්ම මහ ඇමැතිවරුද නැවතී සිටි ප්‍රදේශයකි. පෞරාණික වටිනාකමක් සහිත භූමියකට මායිම්ව ඇති මේ පෞද්ගලික වනාන්තර මායිමේ පාසි ඇල්ල පිහිටා තිබේ. අනෙක් පැත්තෙන් ඇත්තේ කුඩා ඔයයි.

උඩවලවෙන් හැරී තණමල්විල හරහා වැල්ලවායට ගොස් බෙරගල පාරෙන් ගම්පහට විත් වමට හැරී යන විට මෙම ඉඩම හමුවෙයි. ගම්පහ හන්දියෙන් වමට හැරී ගිය විට ගම්පහක් හමුවන අතර ඒ නිසා එම හන්දියට ගම්පහ හන්දිය යැයි කියනු ලබයි. එසේම මෙම ඉඩමට බෙරගල පැත්තෙන්ද පැමිණිය හැකි මාර්ගයක් තිබේ. ඒ දියලුම ඇල්ල පැත්තෙන්ය.

ගම්පහ හන්දියෙන් හැරී යන විට දෙහිලන්ද ගම හමුවෙයි. එතැනින් වමට හැරී කිලෝ මීටර දෙකක් ගිය විට මෙම වැදිකුඹුර ගමේ මායිමේ පිහිටි වනාන්තරය හමුවෙයි. මෙම වනාන්තරයෙන් ඇතුළට ගොස් කිලෝමීටර් 4-5ක් ගිය විට පාසි ඇල්ල එක් පැත්තකිනුත් අනෙක් පැත්තෙන් කුඩා ඔය ගඟත් හමුවෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම අක්කර 150 කැලෑ භූමිය පිහිටා තිබේ. හපුතලේ ඡන්ද බල ප්‍රදේශයේ ඓතිහාසික තොරතුරු රැසක් මෙම කැලෑ භූමිය නිමවී හමුවන පාසි ඇල්ල ප්‍රදේශයෙන් දැකගත හැකිය. ස්වාභාවිකව කඩා හැලෙන දිය ඇලි ස්වාභාවිකව පිහිටි පිහිනුම් තටාක 5ක්ද මෙම ප්‍රදේශයේ ඇත. එම නිසා භූමිය තව තවත් අලංකාර වී තිබේ.

මෙම ගන කැලෑව සහිත භූමියට ඇතුළුවීමට ඒ ගැන දන්නා අයකු සිටිය යුතුමය. නැතහොත් කැලෑව තුළ අතරමං වෙනවා හැර යන එන මඟක් සොයා ගැනීමට නොහැකි වනු ඇත. අතීතයේදී මේ කැලයේ වලස්සු සහ කොටිද සිට ඇත. මුවා, ගෝනා, අලි තුන්දෙනකු පමණ මේ කැලයේ ජීවත් වෙති. වඳුරන්, මොනරුන් සහ සර්ප විශේෂ රැසක් කැලයේ සිටිති. නමුත් යන එන ගමනේදී මිනිස්සුන්ට උන්ගෙන් කරදරයක් නොවන බව ගම්මුද කියති.

මේ සා වනාන්තරයේ ඇතුළට යෑමට එම ප්‍රදේශයේම දෙදෙනකු එක්විය. එක් අයෙක් විශ්‍රාමික හමුදා සෙබළකු වන ජයරත්න අනෙක් කෙනා සුනිල්ය. මේ දෙදෙනාගේ සහාය ඇතිව පාසි ඇල්ලට යෑමට අපට හැකි විය. නමුත් යායුතු ගමන සුන්දර නැත. අවට පරිසරය කොතරම් සුන්දර වුවත් වැසි දිනයක් වූ එදින කූඩැල්ලන්ගේ කරදරයට අපට මුහුණදීමට සිදුවිය. එපමණක් නොව ඇළ කඩිතිවලින් බැස වැටී ඇති ගස් යටින් රිංගා දුෂ්කරතා මධ්‍යයේ අපි ඕලු ඇල්ලේ වතුර ගලා යන දිය පහර වෙතට පැමිණියෙමු. උඩවලවෙන් උදේ 6.00ට පිටත් වූ අප කැලයට ඇතුළු වන විට උදෑසන 9ට පමණ ඇත.

රූස්ස ගස් සහිත මහ කැලය මැදින් යන ගමන අමාරු මෙන්ම දුෂ්කරතා රැසක්ද තිබිණි. අප යන විට අලි එම ස්ථානයේ ගැවැසී සිටි ඇති බවට සාක්ෂි ඕනෑ තරම් තිබිණි. එසේම ගෝන්නු එම ප්‍රදේශයේ සැරසරන බවට සාක්ෂිද ඕනෑ තරම් ඇත.

මෙම රක්ෂිතය ආසන්නයේ කඳු පන්තියකි. ඉතා රමණීය ප්‍රදේශයකි. මෙම කඳු පන්තියේ එක් කන්දක් වන්නේ දෙබෑගලයි. මේ දෙබෑගල කන්දෙන් පැන රජෙකු සියදිවි නසාගෙන ඇති බවට ජන ප්‍රවාදයේ මතයක්ද තිබේ. රජුට වැලඳුන කුෂ්ඨ රෝගයක් සුව නොවීම නිසා කන්දෙන් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව කියැවෙයි.

පාසි ඇල්ල ආසන්නයෙන් පෙනෙන කඳු පන්ති හරස් කරමින් උමාඔය වේල්ලද ඉදිවීමට නියමිතය. පාසි ඇල්ල ලෙස හැඳින්වීමට පෙර මෙම ඇල්ල හැඳින්වූයේ වැදිකුඹුර ඇල්ල කියාය. ඒ වැදිකුඹුර ගම මායිමේ මේ ඇල්ල පිහිටීම නිසාය. වැදිකුඹුර ඇල්ලට පාසි ඇල්ල කියා නම වැටුණේ සංචාරකයන් නිසාය. සමහර විටෙක වැදිකුඹුර ඇල්ල කඩා හැලෙන ගල්තලාව දෙපස පාසි තිබීම නිසා විය හැකි බව යැයි ගම්මු කියති. වැදිකුඹුර ඇල්ල කඩා හැලෙන්නේ එම ගල්තලාව මුදුනේ පිහිටි බුබුළකිනි. මේ බුබුළ කිසි දිනෙක සිඳෙන්නේ නැත. ඒ නිසා වැදි කුඹුර ඇල්ලේ හැමදාම වතුර කඩා හැලෙන බව ගම්මු කියති.

කිසි දිනෙක වතුරෙන් අඩුවක් නැති නිසා වැදිකුඹුර ඇල්ලේ වතුර යොදාගෙන ගොවිතැන් කටයුතුද කර තිබේ. ඒ සඳහා ජලය ගෙන ගියේ කැපූ ඇළ මාර්ගවලිනි. ඉතා සරුසාර බිමක් නිසා වගා කරන සෑම දෙයකින්ම හොඳ අස්වැන්නක් ගැනීමට පුළුවන. වැදිකුඹුර ඇල්ල නැතහොත් පාසි ඇල්ල නැරැඹීමට එන පිරිස් එන්නේද මේ ගන වනාන්තරය මැදිනි. එන පිරිස් ඇල්ල අවට පොලිතින් ප්ලාස්ටික් දමා විනාශ කර ඇති අයුරුද පෙනේ. ඒ විනාශ කරන්නේ ලංකාවේ සංචාරකයන්මය. එහෙත් වැදිකුඹුර ඇල්ල නැරැඹීමට එන විදේශීය සංචාරකයන් මේ කැලෑව පමණක් නොව ඇල්ලද ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙති. 

සංචාරකයන් ඇද බැඳ තබා ගතහැකි රමණීය පරිසරයක පිහිටි මේ ගන කැලෑව අදටත් ආරක්ෂා වී ඇත්තේ එහෙයිනි. පරිසරයට කිසිදු හානියක් නොකර මේ සුන්දර බිමෙහි සංචාරකයන් ගෙන්වා ගැනීමට කැමැති අයට ඉඩ ප්‍රස්තාව ලබා දීමටද නිමල් සේනාධීර මහතා කැමැත්තෙන් සිටියි. ඔහු ඒ සඳහා අක්කර 40ක භූමියක් ලබා දීමටද කැමැත්තෙන් සිටියි.

මේ පරිසරයේ සුන්දරත්වය, ආරක්ෂා කරමින් ගහකොළ ඇළ දොළ ස්වාභාවික පිහිටීම එලෙසින්ම ආරක්ෂා කළ හැකි අයට ඒ සඳහා අවස්ථාවක් උදා වී තිබේ. විදේශිකයන්ගේ සිත් ඇද ගන්නා පරිසරයක් වීමත් දියලුම ඇල්ල ආසන්නයේම පිහිටි භූමියක් වීම නිසාත් සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් මේ ප්‍රදේශයට යොමු වී තිබීම විශේෂත්වයකි.

වැදි කුඹුර, දෙහිලන්ද, කොලොන්ගස්තැන්න, මඩුගස්තලාව, මිරිස්වත්ත ආදී ගම්පහ ජනතාවට මේ භූමියෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට බැරි හේතුවක්ද තිබේ. ඒ ඔවුන් සතුව මුදල් නොමැතිකමය. ගොවිතැන් බතක් කරමින් එදිනෙදා ජීවිතය කරගෙන යන මේ ගම්පහේ ජීවත්වන ජනතාවට අලුත් ඉලක්ක කරා යෑමට පවතින සමාජ රටාව මඟින් මඟ පාදා නැත. ඒ නිසා ඔවුන් ලද දෙයින් සතුටුව තම ජීවිතය සොයා යෑමට උත්සාහ කරති. මේ ගම්පහ ඇතුළත පවුල් 500ක් පමණ ජීවත්වෙති. මඩුගස්තලාව, මිරිස්වත්ත, කොලොන්ගස් තැන්න, දෙහිලන්ද, මහලන්ද බෝපත් කිවුල වැදි කුඹුර ආදී ගම්වල ජනතාව ජීවත් වෙන්නේ ගොවිතැන් කරමිනි. ඒ මේ ප්‍රදේශයේ ඇති සාරවත් බව නිසාමය.

වැදිකුඹුර ඇල්ල ගැන පොත්පත්වල සඳහන් නැත. ගමේ පැරැණි අය විසින්ම මේ ඇල්ල සොයාගෙන තිබේ. ජනප්‍රවාද හා බැඳුණු අතීත කතා රැසක් මේ ගත කැලෑව හා වැදිකුඹුර ඇල්ල අවට දැකිය හැකිය. අතීතයේ සිට මේ ප්‍රදේශය ගැමි යුග ප්‍රදේශයකි. ගැමි යුගය කියා මේ ප්‍රදේශය හැඳින්වීමට හේතුවක්ද තිබේ. ප්‍රදේශයේ ජනතාව එදා සිටම ජීවත් වී ඇත්තේ ගොවිතැන් කිරීමෙනි. එසේම දඩයමේ ගොසිනි. ඒ නිසා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන කාලවලදී ඔවුන්ට විරුද්ධව සටන් සංවිධානය කර ඇති ප්‍රදේශයක් බවද කියැවෙයි. මේ ප්‍රදේශයේ රජවරු ඇමැතිවරු වාසය කර ඇත. අදටත් මේ ප්‍රදේශයේ ඇති ගල්ගුහා සොයාගෙන නැත. කැප්පෙටිපොළ නිලමේ සැඟව සිට ඇත්තේද මේ කැලයේ බවට ජනප්‍රවාදයේ එන කතා මඟින් කියැවෙයි. වැදිකුඹුර ඇල්ල මුදුනේ රජ මාලිගයක්ද පැවැති බව කියැවෙයි. නමුත් එම ස්ථානවලට යෑමට අපහසුය. එදා මේ ප්‍රදේශයේ සැඟව සිටි නිලමේතුමාලා සහ රජ පරම්පරාවේ අය ප්‍රදේශයේ කුඹුරු කරවා ඇතැයිද කියැවෙයි.

ඉංග්‍රීසී පාලන සමයේදී මේ අය ප්‍රදේශයේ ඇති ගල්ගුහාවල සැඟව සිටි බවට කියැවෙයි. ප්‍රදේශය ආසන්නයේ ඇති ගම්මානවල ඊට සාක්ෂි ඇති නටබුන් තිබේ. ඒවා අදටද ආරක්ෂා වී ඇත.

එදා වැදිකුඹුර ප්‍රදේශයේ සැඟව සිටි ප්‍රභූවරුන්ට පණිවුඩ ගෙන ගියේ මේ රක්ෂිත ප්‍රදේශය හරහාය. ඒ ආරච්චි පණිවුඩ හරහා බවද කියැවෙයි. ඉංග්‍රීසි පාලනයට විරුද්ධව නැඟී සිටි ආරච්චිවරු අතර රහසිගතව පුද්ගලයන් ලවා ආරච්චි පණිවුඩ යවා ඇත. මේ මහගන කැලෑවේ ඇති දැවැන්ත ගස් මේ ප්‍රදේශයේ සශ්‍රිකත්වයට සාක්ෂි දරයි. ඒ අතරින් දුර්ලභ ශාක ඖෂධ පැළෑටි ද තිබේ. මේ සියලු දේ හරහා පෙනී යන්නේ ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරැලි සංවිධානය කිරීමේදී සිංහල ප්‍රභූවරු මේ ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් සේ භාවිත කළ බවටය.

වැදිකුඹුර ඇල්ලට මායිම්ව ඇති මහ කැලයේ අනෙක් කෙළවර මායිම් වෙන්නේ කුඩා ඔය ඟඟටය. කුඩා ඔය ගඟ ප්‍රදේශයද ඉතා රමණීය පරිසරයකි. එම ගඟේ නැව්ගල ඊට සාක්ෂි දරයි. විශාල නැවක් මෙන් දිස්වන නැව්ගල නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයෝද එති. එසේම ප්‍රදේශයේ සශ්‍රීකත්වය කියාපාන තවත් කාරණයක් තිබේ. ඒ ප්‍රදේශයේ ඇති මැණික් ඉල්ලමය. අදටත් ප්‍රදේශයේ මැණික් ඉල්ලම සම්පූර්ණයෙන්ම අරගෙන නැති බවට ගම්මු කියති. 

වැදිකුඹුර ප්‍රදේශයට එම නම ලැබී තිබුණු හැටිද හරි අපූරුය. මේ ප්‍රදේශයේ පැරැණි ජනතාව ප්‍රදේශයේ මායිම ලකුණු කරගෙන ඇත්තේ දුන්නෙන් විදීමෙනි. එදා මේ ප්‍රදේශයේ ජීවත්ව ඇත්තේ ආදිවාසී ජනතාවයි. ඔවුන් වැදිකුඹුර ඇල්ල පටන්ගන්නා ගලමුදුනේ සිට දුන්නෙන් විද සීමාව ලකුණු කරගෙන ඇත. ඒ වැදි ජනතාව දුන්නෙන් විද්ද පසු ඊය වැටුණේ කුඹුරු යායකටය. ඒ නිසා වැද්දාවිද්ද කුඹුර වැදි කුඹුර ලෙස පරිවර්තනය වූ බව ගම්මු කියති. ඒ දුන්නෙන් විද්ද තැන දුන්නක් හා ඊයක් ගලේ කොටා ඇති බවද කියැවෙයි. ඒ නිසා මේ අක්කර එකසිය පනහට එපිටින් තවමත් නොවිසඳුණු ඉතිහාසයක තොරතුරු රැසක් සඳහන් ඇති බව නම් සත්‍යයක් බව පෙනෙන්නේ එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙනි.

කෙසේ වෙතත් මේ මාර්ගයේ ගමන් කරන විට දේවාලයක් හමුවෙයි. ඒ දේවාලයට පඬුරක් දමා යෑමෙන් තමන්ගේ ගමන කරදරයකින් තොරව නිමකළ හැකි බව ගම්මු අදටද විශ්වාස කරති. ඒ නිසා වැදිකුඹුර ඇල්ල නැරැඹීමට හෝ රක්ෂිතය බැලීමට යන අය දේවාලයේ පඬුරක් දමා යෑමට අමතක නොකරන්නේ එහෙයිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads