Type Here to Get Search Results !

පාසල් ආරම්භවන දිනය ගැන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට දැනුම් දෙයි


පවතින ගෝලීය වසංගත අවදානම සහ රට මුහුණ දී ඇති තත්ත්වය සැලකූ විට යළි පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා වෙත දැනුම් දී තිබෙනවා.
මීට පෙර මැයි මස 11 වන දින පාසල් යළි විවෘත කිරීමට දින නියම වී තිබුණා.
කෙසේ වෙතත්, පාසල් යළි විවෘත කරන දිනය පිළිබදව තීරණය කරනු ලබන්නේ වසංගත ව්‍යාප්ති ස්වභාවය සහ පාසල් තුළ අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක කටයුතු පවත්වා ගැනීමට අදාළ යටිතල පහසුකම්වල ප්‍රමාණවත් බව අධ්‍යයනය කිරීමෙන් පමණක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.
advertisement
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ පාසල් පරිශ්‍රවල කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සහ පාලනය සඳහා අවශ්‍ය සියළු සනීපාරක්ෂක පහසුකම් සහ ඊට අදාළ යටිතල පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට සියළුම රජයේ සහ පෞද්ගලික පාසල් බලධාරීන් වෙත උපදෙස් ලබාදෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
යම් පාසලක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදාගෙන තිබුණේ නම් එම පාසල විෂබීජහරණය කර අවම වශයෙන් දින 3ක්වත් සම්පූර්ණයෙන් වසා තැබිය යුතු වනවා.
එමෙන්ම, යළි පාසල් විවෘත කිරීමට පෙර දරුවන්ට මුහුණපෑමට සිදුවන ගැටළු සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබදව පාසල් දරුවන් සහ දෙමව්පියන් සමග සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ අදාළ අතුරු මාර්ගෝපදේශයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම, ජාතික මට්ටමේ නිර්දේශ මත පදනම්ව පළාත් මට්ටමින් පාසල් යළි විවෘත කිරීම පිළිබද අවසන් තීරණය ගැනීම සඳහා පළාත් කමිටුවක් වෙත බලය පවරා තිබෙනවා.
ඒ අනුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිර්දේශිත නිලධාරීන්ගෙන් අදාළ පළාත් කමිටුව සමන්විතයි.
මැයි මස 11 වන දා සිට රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශන ඒ ඒ ආයතන සහ පුද්ගලයින් වෙත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමු කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අදාළ මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවයි.
එම මාර්ගෝපදේශ අදාළ අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads