Type Here to Get Search Results !

කොරෝනා මෘතදේහ භූමදානයට සුදුසු භූමියක් සොයන්නැයි අගමැති කියයි…- නිල නිවේදනය මෙන්න..


අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (2020.12.10) දින පැවැත්විණි.

කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

දැනට මෙම වයිරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහය තුළ වයිරසය දින 36 ක් පමණ පවතින බව සෞඛ්ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළේය.

සෞඛ්‍යට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ග වල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය.

ඒ සඳහා සහය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන අලි සබ්රි,පවිත්‍රා වන්නිආරච්චි,රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර මහත්ම මහත්මීන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච් මුණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads