අලුත්ගම දර්ගා නගරය ලොටස් පාරේ පදිංචි මොහොමඩ් රිෆ්කාන් මොහොමඩ් අර්මාශ් සිසුවා මෙවර පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මය සිංහල ඇතුළු විෂයන් නවයටම ‘ඒ’, සමාර්ථ ලබාගෙන තිබේ .
‘මේ ජයග්‍රහණයේදී මා සමඟ සෙවණැල්ලක් සේ සිටි මාගේ මව පියා මෙන්ම මගේ පන්තිභාර ගුරු ස්වාමීන් වහන්සේ වන ගැට මානේ තිස්ස හිමියන් මෙන්ම විදුහල්පති ප්‍රියන්ත කරුණාරත්න ගුරුපියාණන් ඇතුළු සමස්ත ගුරුභවතුන් ප්‍රථමයෙන් මා සිහි කරනවා .
මගේ පියා දර්ගා නගරය නාකන්දල ගොඩ ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයෙන් සිංහල මාධ්‍යයෙන් ඉගෙනගෙන උසස්පෙළ සමත් වුණු කාලයේදී මගෙත් අභිප්‍රාය වුණේ මෙවැනි ජයග්‍රහණයක් කෙදිනක හෝ අත්කරගන්න උත්සාහ කිරීමයි . මම පළමු වසරේ සිට 5 ශිෂ්‍යත්වය සමත් වෙන තෙක් අලුත්ගම මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තා එහිදී ශිෂ්‍යත්වය හොඳින් සමත් වී ලුම්බිණි විද්‍යාලයට ඇතුළත් ව ඉගෙනීමේ කටයුතු සිදුකරගෙන මෙවර කොරෝනා වසංගත තත්ත්වය මැද වුවද ඉ ගණුම් කටයුතු හොඳින් සිදු කර නිසා මේ ජයග්‍රහණය අත් කර ගන්න හැකි වුණා .
විශේෂයෙන්ම දර්ගා නගරයේ පදිංචි ශිෂ්‍යයෙක් හැටියට බුද්ධ ධර්මය සමග A නමයක් ලබාගැනීමට මට හැකිවුණේ උනන්දුව හා කැපවීම නිසි ලෙස කාලය කළමනාකරණය කර අධ්‍යාපන කටයුතු සිදු කර ගත් නිසයි .
මගේ අනාගත බලාපොරොත්තු වන්නේ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය හොඳින් සමත් වී මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඉංජිනේරුවරයෙකු ලෙස රටට වැඩදායි පුද්ගලයකු වීම’ යයි සිසුවා පැවසීය.
තම පුතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අදහස් දැක්වූ පියා වන දර්ගා නගරයේ පදිංචි ව්‍යාපාරික එම්.ජෙ.එම්. රිෆ්කාන් මහතා මෙසේ පැවසීය ,
‘සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරා එහි වටිනාකම තේරුම් ගත් කෙනෙක් හැටියට මගේ දරුවත් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්න යොමු කළා. එහිදී බුද්ධ ධර්මය ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය හොඳින් වටහාගෙන ස්වකැමැත්තෙන්ම බුද්ධ ධර්මය විෂයක් හැටියට හැදෑරුවා . එයා කිසිම දවසක දහම් පාසලකට ගියේ නෑ . කිසිම දවසක ටියුෂන් පන්තියකට යවලත් නෑ පාසලෙන් විතරක් බුද්ධ ධර්මය විෂයක් හැටියට හදාරලා ‘ඒ’ සමාර්ථ මගේ පුතා ලබා ගත්තා . මම හිතනවා හැම මුස්ලිම් ශිෂ්‍යයෙක්ම බුද්ධ ධර්මය හා සිංහල භාෂාව අප රට බෞද්ධ රටක් ලෙස ලංකාවේ ජීවත් වන හැම මුස්ලිම් ශිෂ්‍යයෙක් ම අනිවාර්යෙන් බුද්ධ ධර්මය හා සිංහල භාෂාව හදාරන්න ඕන කියලයි .එය සුළු ජාතිකයන් වන අපට මහත් රුකුලක් වෙනවා . ඒ වගේම ලංකාවේ ජීවත් වන අපි බුද්ධ ධර්මය ගැන අවබෝධයෙන් ජීවත් වීම කාලෝචිතයි කියා විශ්වාස කරනවා’
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා