Type Here to Get Search Results !

මහින්ද ඉවත් වෙන්න සූදානම්.. අලුත් අගමැති එනතුරු සිටී.. පොහොට්ටුව අන්තර්කාලීන සාකච්චාවට යයි..


අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කොට ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් නව අගමැතිවරයකු පත් කෙරෙන තෙක් අගමැතිවරයාගේ ඉවත්වීම සිදු​නොවනු ඇත.

අගමැතිවරයා ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලයද විසිරී යන නිසා එසේ වුවහොත් දේශපාලනික අරාජිකත්වයක් ඇතිවීම වළක්වා ගැනීම එහි අරමුණ බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේය.

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට පත් කෙරුණු කමිටුව අද (2 වැනිදා) ජනාධිපතිවරයා සමග පොදුජන පෙරමුණේ නියෝජිතයන් හමුවීමට නියමිතය. ඒ අනුව එහිදී නව අගමැතිවරයකු පත් කරගැනීම සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කෙරෙනු ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් සෙනසුරාදා (30 වැනිදා) පැවැත්විණි. බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, සාගර කාරියවසම් හා සංජීව එදිරිමාන්න යන මැති ඇමැතිවරු ඊට එක්ව සිටියහ. කෙසේ වෙතත් අද (2 වැනිදා) පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වන බවත් පවතින අර්බුදය විසඳීමට ගන්නා ක්‍රියාත්මක කළ හැකි විසඳුමකට සහාය ලබාදෙන බවත් ශ්‍රී ලංකා ​පොදු ජන පෙරමු​ණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියේය. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පමණක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රායෝගික නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දසදෙනා ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල එකමුතුවෙන් මෙය සිදුකළ යුතු බවයි. එම පක්ෂවලට බලපෑම් කරන ලෙස මන්ත්‍රීවරුන් දසදෙනා මල්වතු අස්ගිරි අනුනායක හිමිවරුන්ගෙන්ද ඉල්ලා සිටියහ.

– අරුණ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads