Type Here to Get Search Results !

අඩු ලකුණු ගත් රංග දිසානායක අල්ලස් කොමිසමේ ලොක්කා කරලා.. ලේඛණ හැන්සාඩ්ගත කරයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ ඇතිවූ මතභේදකාරී තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් අද කථානායකවරයා වෙත වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කර ඇත.

මන්ත්‍රීවරයා විසින් කථානායකවරයා වෙත යොමු කරන ලද ලිපියේ දැක්වෙන්නේ, මෙම පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් නොමග යැවීමක් සිදුව ඇති බවත්, එමඟින් සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් වී ඇති බවත්ය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 2024.10.14 වන දින අයදුම්පත් කැඳවා ඇත. පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මාධව තෙන්නකෝන් මහතා සහ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතාගේ නම් අවසන් අපේක්ෂකයින් ලෙස තෝරාගෙන තිබේ.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම් මිනිත්තු අනුව, මෙම පත්වීම සඳහා අපේක්ෂකයින් දෙදෙනාටම ලකුණු (100න්) ලබා දී ඇති අතර, ඉන් වැඩිම ලකුණු (80.55) ලබාගෙන ඇත්තේ මාධව තෙන්නකෝන් මහතා (Tag No: 10) වන අතර, රංග දිසානායක මහතා (78.00) දෙවැනි ස්ථානයේ සිට ඇත.


මෙම තත්ත්වය මත, මාධව තෙන්නකෝන් මහතාට පක්ෂව පස් දෙනෙකුත්, රංග දිසානායක මහතාට පක්ෂව හතර දෙනෙකුත් ඡන්දය ප්‍රකාශ කර තිබේ.


අවසානයේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමේදී: මාධව තෙන්නකෝන් මහතාට පක්ෂව විපක්ෂ නායකවරයා, අජිත් පෙරේරා මහතා, ආචාර්ය ප්‍රතාප් රාමනුජම් මහතා සහ ආචාර්ය දිල්කුෂි අනුලා විජේසුන්දර මහත්මිය ඡන්දය ප්‍රකාශ කර ඇත.


රංග දිසානායක මහතාට (Tag No: 2) පක්ෂව අග්‍රාමාත්‍යවරයා, බිමල් රත්නායක මහතා, අබුබක්කර් අදම්බාවා මහතා, සිවඥානම් සිරිතරන් මහතා සහ ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය ඡන්දය ප්‍රකාශ කර ඇත.


ඒ අනුව, ඡන්ද 5-4ක් ලෙස රංග දිසානායක මහතා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිර්දේශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත.


මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කථානායකවරයාට යොමු කළ ලිපියේ ප්‍රධාන චෝදනාව වන්නේ, රංග දිසානායක මහතාට පක්ෂව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන වසන්ත කුමාර විමලසිරි ජිනදාස මහතා (උතුරු මැද පළාත් ආණ්ඩුකාර) සහ චම්පා ජානකී රාජරත්න මහත්මිය (සබරගමුව පළාත් ආණ්ඩුකාර) විසින් ලබා දී තිබූ නිර්දේශ ලිපි සම්බන්ධයෙනි.


මුලදී ආණ්ඩුකාර තනතුරු දේශපාලන පත්වීම් බැවින් එම නිර්දේශ ‘දේශපාලන මැදිහත් වීමක්’ ලෙස සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡා කර ඇත.


කෙසේ වෙතත්, සභානායක බිමල් රත්නායක මහතා විසින් මෙම නිර්දේශ ලිපි ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් ආණ්ඩුකාරවරුන් ලෙස පත්වීමට පෙර බවට දැනුම් දී තිබේ.


එම ප්‍රකාශය විශ්වාස කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික මහාචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය සිය ඡන්දය රංග දිසානායක මහතා වෙත ලබා දී ඇති අතර, එය ඔහුගේ ජයග්‍රහණයට හේතු වී ඇත.


නමුත් පසුව දැනගන්නට ලැබී ඇත්තේ, ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ ගැසට්‌ පත්‍රය 2024.09.27 වන දින ප්‍රසිද්ධ කර ඇති අතර, ඔවුන් විසින් රංග දිසානායක මහතාගේ නම නිර්දේශ කර ඇත්තේ ආණ්ඩුකාරවරුන් ලෙස පත් වූ පසුව බවයි.


මෙම තත්ත්වය හමුවේ, මහාචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය විසින් එදිනම දිවුරුම් ප්‍රකාශයක් මගින් ගරු කථානායකවරයාට විරෝධය පළ කර ඇත.


මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කරන්නේ, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ උපලේඛනය (අ) කොටසේ 4 වන වගන්තිය යටතේ, පාර්ලිමේන්තු කාරක සභාවක රැවටීමේ අදහසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම බලවත් වරදක් බවත්, මෙම වරද හිතාමතාම සභානායක බිමල් රත්නායක මහතා විසින් සිදු කර ඇති බවත්ය. එසේම, කථානායකවරයා ද “අදාළ වරදම සිදු කර ඇති” බවට චෝදනා කරමින්, ඔවුන් දෙදෙනාම සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවයට බලවත් හානියක් සිදු කර ඇති බව පෙන්වා දී තිබේ.


මන්ත්‍රීවරයා අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ වරප්‍රසාද කඩ කිරීම පිළිබඳව වරප්‍රසාද කමිටුව වෙත මෙය ඉදිරිපත් කරන ලෙස හා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම බරපතල කාරණය පිළිබඳව කථානායකතුමා විසින් සභාවට පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත්ය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads