සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ඉන්ධන මිල සංශෝධනය රජය විසින් ගත් තීරණයක් නොව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ස්වාධීනව ගත් තීරණයක් බව සිරස රූපවාහිනී නාලිකාවේ 'සටන' වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
අතීතයේදී අමාත්‍යවරුන් රාජ්‍ය ව්‍යවසායන්හි තීරණවලට අත්තනෝමතික ලෙස මැදිහත් වීම නිසා එම ආයතන අකර්මණ්‍ය වූ බව පෙන්වා දුන් ඒ මහතා, වත්මන් රජය එවැනි මැදිහත්වීම් සිදු නොකරන බව අවධාරණය කළේය.
සංස්ථාවේ කටයුතු මෙහෙයවීම සඳහා පත් කර ඇති නිලධාරීන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවත්, ලෝක වෙළඳපොළේ මිල ගණන් වෙනස් වීමට සාපේක්ෂව දේශීය මිල ගණන් සංශෝධනය වන බවත් ඔහු පැහැදිලි කළේය.
ලෝක වෙළඳපොළේ මිල ගණන් හදිසියේ ඉහළ යාම මෙම මිල සංශෝධනයට ප්‍රධානතම හේතුව වී ඇත. කෙසේ වෙතත්, ඉදිරියේදී ලෝක වෙළඳපොළේ මිල අඩු වුවහොත් එහි වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පීඩාවට පත්වන කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ නිෂ්පාදන අපනයන කර්මාන්ත වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා සහනාධාර ලබා දීමේ සැලසුමක් රජය සතු බව ඒ මහතා අනාවරණය කළේය.
මෙම සහනාධාර ලබා දීම සඳහා අයවැය මගින් දැනට ප්‍රතිපාදන වෙන් කර නොමැති වුවද, වෙනත් අනවශ්‍ය වියදම් කපා හැරීම මගින් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා බව ඔහු පැවසීය,.
රටේ මූල්‍ය විනය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රාථමික අතිරික්තය (Primary Balance) ධන 2.3 මට්ටමක පවත්වාගෙන යාමට රජය බැඳී සිටින බවත්, ඒ අනුව වියදම් කළමනාකරණය කරමින් ජනතාවට සහන සැලසීම රජයේ අපේක්ෂාව බවත් චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය


