සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ගල් අඟුරු හිඟය සහ ඒ ආශ්‍රිත වංචාවන් හේතුවෙන් නිර්මාණය වී ඇති බලශක්ති අර්බුදය වසා ගැනීමට ආණ්ඩුව වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස මුදාහැරීමට තීරණය කර ඇති බවත්, මේ හේතුවෙන් ඉදිරි කාලය තුළ රටේ කෘෂිකර්මාන්තය සහ පානීය ජල සැපයුම බරපතල අනතුරකට ලක්ව ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.
මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු අනාවරණය කළේ, 2026 මාර්තු 24 වන දින පස්වරු 4:30ට කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි.
සාමාන්‍යයෙන් වික්ටෝරියා ජලාශයේ පානීය ජල අවශ්‍යතා සහ අනෙකුත් බහුකාර්ය අවශ්‍යතා සපුරාලීම සඳහා ජල මට්ටම ඝන මීටර මිලියන 405ක (මුහුදු මට්ටමේ සිට මීටර 422ක) මට්ටමක පවත්වා ගත යුතුය. කෙසේ වෙතත්, බලශක්ති අර්බුදය විසඳීම සඳහා මෙම ධාරිතාවෙන් ඝන මීටර මිලියන 330ක් අඩු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව නාගමුව මහතා පැවසීය. ඒ අනුව ජලාශයේ අවසානයට ඉතිරි වන්නේ ඝන මීටර මිලියන 75ක් වැනි ඉතා සුළු ජල ප්‍රමාණයක් පමණක් බව ඔහු පෙන්වා දෙයි. මෙම තීරණය මගින් බලශක්ති ක්ෂේත්‍රයේ රුපියල් මිලියන 7260ක මුදල් ඉතිරියක් අපේක්ෂා කරන බව ආණ්ඩුවේ මතය වී ඇත.
මෙම තීරණයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මේ වන විටත් බලගොල්ල පොම්පාගාරය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී ඇති අතර, එමගින් ජලය ලබාගන්නා බලගොල්ල, කුණ්ඩසාලය සහ දිගන ප්‍රදේශවල ජල සබඳතා 17,000කට පමණ පානීය ජල සැපයුම ඇණහිට තිබේ. මෙම ප්‍රදේශවල දෛනික ජල අවශ්‍යතාව ඝන මීටර 12,000ක් වුවද, ආණ්ඩුව විකල්ප ලෙස බවුසර් මගින් සපයන්නේ ඝන මීටර 500ක් වැනි ඉතා අවම ප්‍රමාණයක් බව නාගමුව මහතා සඳහන් කළේය.
තවද, මෙම ජල හිඟය හේතුවෙන් පල්ලෙකැලේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇතැම් කර්මාන්තශාලා අප්‍රේල් 10 වන දින සිට නිවාඩු ලබා දී වසා දැමීමට සිදුව ඇති අතර, එමගින් රටේ ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව ඔහු අනාවරණය කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී දැඩි වියලි කාලගුණයක් අපේක්ෂා කරන බවට අනාවැකි පළ කර තිබියදී මෙලෙස ජලය මුදාහැරීම අමනෝඥ ක්‍රියාවක් බව හෙතෙම පෙන්වා දෙයි. වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටබේ ජලාශවලින් මෙලෙස අධික ලෙස ජලය මුදාහැරීම හේතුවෙන් ඉදිරි කෘෂිකාර්මික කටයුතු වලදී මිනිපේ සහ මහවැලි එච් කලාපවල ගොවීන්ට වගා කටයුතු සඳහා ජලය ලබාගත නොහැකි වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.
ගල් අඟුරු වංචාවන් වසා ගැනීමට සහ ඉන් සිදු වූ පාඩු පියවා ගැනීමට ගත් මෙම "අමනෝඥ" තීරණය වහාම අකුලා ගන්නා ලෙස නාගමුව මහතා ආණ්ඩුවට බලකර සිටියි. එසේ නොවුණහොත් මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස සහල් අස්වැන්න අඩු වී, සහල් මිල ඉහළ ගොස් පාරිභෝගිකයා දැඩි පීඩාවකට පත්වන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය


