සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
එහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් තම පුත්‍රයාට සිදුවන අසාධාරණය පිළිබඳව ඉතා සංවේදීව කරුණු පැහැදිලි කළාය.
තම පුත්‍රයා රට වෙනුවෙන් විශාල සේවයක් කළ දරුවෙකු බවත්, ඔහු කමාන්ඩෝ බලකායේ සේවය කරමින් සිටියදී මුළු ප්ලැටූනයම විනාශ වී ඔහු ඇතුළු තිදෙනෙකු පමණක් දිවි බේරාගත් අවස්ථාවන් තිබූ බව ඇය සඳහන් කළාය.
එම සටන් වලදී සිදු වූ දරුණු පිපිරීම් හේතුවෙන් ඔහුගේ එක් කනක ඇසීම පවා දුර්වල වී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
යුද්ධය පැවති වසර 30ක කාලය පුරාම ඔහු රට වෙනුවෙන් කැපවී කටයුතු කළ බවත්, ඔහු කිසිවිටකත් තමා කරන සේවය ප්‍රදර්ශනය කිරීමට හෝ ප්‍රශංසාවට කැමති අයෙකු නොවන බවත් ඇය අවධාරණය කළාය.
70 වන වියේ පසුවන තමා, තම දරුවා වෙනුවෙන් පෙනී සිටීමට රෝහලේ සිට මෙහි පැමිණි බව පැවසූ ඇය, "මිනිස්සු පුතාට මෙච්චර ආදරෙයි නම්, වදාපු අම්මාට කොච්චර වේදනා ඇද්ද?" යනුවෙන් විමසා සිටියාය,.
රාත්‍රී කාලයේදී පවා තමාට තම පුතාගේ හඬ ඇසෙන බවත්, ඔහු සිරගතව සිටින බව මතක් වූ විට දරාගත නොහැකි වේදනාවක් දැනෙන බවත් ඇය කඳුළු පිරි දෑසින් පැවසුවාය.
තම පවුලේ දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකුම හමුදාවේ සේවය කළ බවත්, ඔවුන් හැමවිටම රටට ගෞරවයක් ගෙන දුන් දරුවන් බවත් ඇය මෙහිදී මතක් කර දුන්නාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන මෙම පරීක්ෂණ පිටුපස දේශපාලන අරමුණු ඇති බවට ඇය චෝදනා කළාය.
විශේෂයෙන්ම ඇතැම් ආගමික නායකයින් මේ හරහා දේශපාලනය කරන බවත්, ඔවුන්ට මවකගේ හැඟීම් තේරුම් නොගන්නා බවත් ඇය සඳහන් කළාය.
"මම ඉපදුණේ කතෝලිකයෙක් විදිහට, මම ජේසුට වඳිනවා, කොච්චිකඩේ පල්ලියට හැමදාම ගියා. ඒත් මේගොල්ලෝ කරන්නේ ආගම ධර්මය නෙමෙයි, දේශපාලනය," යැයි ඇය දැඩිව ප්‍රකාශ කළාය.
රට වෙනුවෙන් රහසිගතව සේවය කළ බුද්ධි අංශ නිලධාරීන් මෙලෙස අපරාධකරුවන් සේ සලකා කටයුතු කිරීම රටට කරන අහිතකර බලපෑමක් බව ඇය පැවසුවාය.
තම පුත්‍රයාට සිදුවන මෙම අසාධාරණයට එරෙහිව දෙවියන් බුදුන් සාක්ෂි දරනු ඇති බවත්, යුක්තිය ඉටු වන තෙක් තමා බලා සිටින බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය


