Type Here to Get Search Results !

භාණ්ඩාගාර කොල්ලය ගැන JPMorgan, Federal Reserve කලින් දැන්වුවත් ගණන් ගෙන නෑ..




 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික මතභේද මධ්‍යයේ රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 100කට ආසන්න) මුදලක් වංචනික ලෙස විදෙස් ගිණුම් වෙත හරවාගෙන ඇතැයි 'Free Lawyers' සංවිධානය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් අනාවරණය කරයි.

මෙම බරපතළ මූල්‍ය අපරාධය සිදුවී මේ වන විට මාස 8කට වැඩි කාලයක් ගතවී ඇතත් , ඒ පිළිබඳ කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ව්‍යවස්ථාදායකය මෙතෙක් අසමත් වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනේ කොන්දේසියකට අනුව, මෙතෙක් කල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ රජයේ විදේශ හා දේශීය ණය කළමනාකරණ කටයුතු මහා භාණ්ඩාගාරය යටතේ අලුතින් පිහිටුවන ලද 'රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය' වෙත මෑතකදී පවරනු ලැබීය. මෙම රාජකාරි මාරු වන සංක්‍රාන්ති සමය තුළ ආයතන දෙක අතර පැවති ගැටුම් සහ නිසි පාලන ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් වංචනිකයන් විසින් මෙම අතිවිශාල මහජන මුදල විදෙස් ගිණුම් වෙත හරවාගෙන ඇති බව වාර්තාවේ සඳහන් වේ.


මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොවන බවත්, පාලන තන්ත්‍රයේ ඇති බරපතළ දුර්වලතාවල ප්‍රතිඵලයක් බවත් පෙන්වා දෙන එම සංවිධානය, මෙම ඛේදවාචකය හේතුවෙන් එක් නිලධාරියෙකුගේ ජීවිතය පවා අහිමි වී ඇති බව අනාවරණය කරයි.


ඇමරිකාවේ 'ජේ. පී. මෝර්ගන්' සහ 'ෆෙඩරල් රිසව්' බැංකු විසින් මෙම විදෙස් ගනුදෙනුවල ඇති සැකකටයුතු ස්වභාවය පිළිබඳව පණිවිඩ මගින් පැහැදිලිව අනතුරු අඟවා තිබියදීත්, බලධාරීන් ඒවා මුළුමනින්ම නොසලකා හරිමින් මුදල් ගෙවා ඇති බව රහසිගත වාර්තා ඇසුරින් හෙළිවී තිබේ.


මෙම වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය යන ආයතන දෙකම සෘජුව වගකිව යුතු බව 'Free Lawyers' සංවිධානය අවධාරණය කරයි.


නව පනත මගින් ලැබී ඇති ස්වාධීනත්වය පලිහක් කරගනිමින්, තමන්ට තවදුරටත් ණය කළමනාකරණ වගකීමක් නැති බව මහ බැංකුව තර්ක කරයි. වඩාත් බරපතළ කරුණ නම්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති සහ රහස්‍යතා ප්‍රතිපත්ති මුවාවෙන් අතිශය වැදගත් අනතුරු ඇඟවීම් සහ තොරතුරු ඔවුන් භාණ්ඩාගාරයෙන් සඟවා තැබීමයි.


ණය කළමනාකරණය පිළිබඳ ප්‍රමාණවත් තාක්ෂණික දැනුමක් නොමැතිව, නිසි රෙගුලාසි සම්පූර්ණ කිරීමටත් පෙර කඩිමුඩියේ මෙම ණය මෙහෙයුම් භාර ගැනීමට භාණ්ඩාගාරයේ නිලධාරීන් කටයුතු කර ඇත.


මෙම වංචාව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව (COPF) විසින් අදාළ ආයතන වෙත සති හතරක කාලයක් ද, ඉන්පසුව තවත් අවස්ථා දෙකකදී සති දෙකකට වැඩි කාලයක් ද ලබා දී ඇත. මෙමගින් තොරතුරු වෙනස් කිරීමට සහ සැඟවීමට විශාල ඉඩක් නිර්මාණය වී ඇති බවට චෝදනා එල්ල වේ.


මෙම බරපතළ මූල්‍ය වංචාව 2026 අප්‍රේල් 22 වැනි දින 'Free Lawyers' සංවිධානය විසින් ප්‍රථම වරට සමාජයට අනාවරණය කර, කතානායකවරයාට සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ලිඛිතව දැනුම් දුන්නද අද වනතුරු නිල පිළිතුරක් ලැබී නැත.


අදාළ රහසිගත වාර්තාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ නිවසට යවා ඇති අතර, එය නිල වශයෙන් පාර්ලිමේන්තුවට යොමු කරන ලෙස ඒ මහතා දැනුම් දීමෙන් පසුවත් තවත් දින 10කට වැඩි කාලයක් ගතවී ඇතත් එය සභාගත කර නොමැත.


මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ පාර්ලිමේන්තුව සතු 'මහජන මුදල් පාලනය කිරීමේ පරම බලය' ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාදායකය අසමත් වී ඇති බව එම සංවිධානය පවසයි.


මේ වන විට මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ කටයුතු මුළුමනින්ම බිඳ වැටී ඇති බවත්, ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාව අඩුපාඩු රැසකින් සමන්විත බැවින් ජාතික විගණන කාර්යාලය ඒ සඳහා කොන්දේසි සහිත මතයක් නිකුත් කර ඇති බවත් වාර්තාව පෙන්වා දෙයි. එමනිසා වත්මන් ලේකම්වරයා වෙනුවට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ රාජ්‍ය සේවයේ වෘත්තීය පළපුරුද්ද සහිත නිලධාරියෙකු වහාම මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයට පත් කළ යුතු බවට යෝජනා කෙරේ.


ජනතාවගේ බදු මුදල් සහ ජාතික ධනය මෙලෙස අවභාවිත වීමට ඉඩ හැර, නිදහසට කරුණු දක්වමින් ගැලවී යාමට කිසිදු බලධාරියෙකුට අයිතියක් නොමැති බව වාර්තාවේ දැඩිව අවධාරණය කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads