තමාට වැලඳී ඇති රෝගය පිළිබඳව වසන්කරමින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළුවී ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි අංගොඩ බෝවන රෝග නිවාරණ ඒකකය වෙත මාරුකර යැවූ දෙහිවල, නැදිමාල, රබර්වත්ත පාර, අරුණාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ බිරියට සහ බෑනාටත් කොවිඩ් _ 19 වැලඳී ඇතැයි හඳුනාගෙන තිබෙනවා.
එම දෙදෙනාද අංගොඩ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බව දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසනවා.
නැදිමාල නිවෙසේ එම රෝගියාගේ බිරිය සහ දුවත්, පුතාත්, දුවගේ සැමියාත් පදිංචිව සිට ඇති බවත් පියා සංචාරක මඟ පෙන්වන්නකු බැවින් විදෙස්ගතව සිටින තම පුත්‍රයාගේ හිතවත් ඕස්ට්‍රේලියාවේ පදිංචි යුවළක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටියදී අත්තිඩිය, පැරකුම්බා මාවත ප්‍රදේශයේ පිහිටි රෝගීවූ පුද්ගලයාගේ පුතාට අයත් නිවෙසක මාර්තු 14 වැනි දින සිට නවාතැන් ගෙන සිට ඇති බවත් වාර්තා වනවා.
විටින් විට දෙහිවල, නැදිමාල, රත්මලාන, කරගම්පිටිය වැනි ප්‍රදේශයන් කරා ගමන් කර ඇති බවත් නැදිමාලේ පදිංචි නෑ හිතමිතුරන් පිරිසක් සමඟ කරගම්පිටිය ප්‍රදේශයේ පිහිටි ස්ථානයක සංග්‍රහයක් සඳහා ද සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සංචාරකයන් ඇසුරුකිරීමෙන් මෙම වයිරසය බෝවන්නට ඇති බවට සැක කරන බවත් සෞඛ්‍ය අංශ පවසනවා.
මෙම සිද්ධිය සැලවීමත් සමඟ දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නිලධාරීන් විසින් මෙම රෝගීන් හඳුනාගත් නැදිමාල අරුණාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි නිවෙස මුද්‍රා තබා සියලුම ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් එම නිවෙස හා ඒ අවට විසබීජානුහරණය කළබවත් එම නිවෙසේ පදිංචිව සිටි වයිරසය ආසාදිත පුද්ගලයාගේ දියණිය සහ පුතා දින 14ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බවත් දෙහිවල පොලිසිය සඳහන් කළා.


