කොවිඩ් – 19 හෙවත් කොරෝනා වයිරසයේ බරපතළකම පිළිබඳව තවදුරටත් ලෝකයේම වෛද්‍ය අංශ පර්යේෂණ කරන නිසා මෙම වයිරසය ආසාදනය වී ඇති වන සංකූලතාව හේතුවෙන් ඕනෑම වයස් සීමාවක පුද්ගලයකු මරණයට පත්වීමේ හැකියාව පවතින බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.
කොරෝනා වයිරසයට කිසිදු ඖෂධයක් තවමත් සොයාගෙන නොමැති නිසා මෙම භයානක වයිරසයට ගොදුරු නොවී සිටීම මේ අවස්ථාවේදී ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.
ඕනෑම වයස් කාණ්ඩයක නිරෝගී කෙනකුට වුවද කොරෝනා වයිරසයට ගොදුරුවීමෙන් ඇතිවන සංකූලතාව හේතුවෙන් මරණයට පත්වීමට හැකි නිසා සියලුම දෙනා ආරක්ෂිත උපදෙස් පිළිගෙන තම නිවෙස්වලට වී කටයුතු කරන ලෙස තමා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවා.
අත්‍යවශ්‍ය සේවා බොහෝදුරට නිවාසවලටම ලැබෙන ක්‍රියාවලියක් සිදුවන නිසා අවම වශයෙන් අප්‍රේල් මාසය අවසන් වනතුරු සියලුම දෙනා තම නිවාසවලම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිගෙන සිටීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.
ඒ අනුව ඇඳිරි නීතිය මේ පවත්වාගෙන යන ආකාරයෙන් අවම වශයෙන් තව මාසයක කාලයක්වත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ප්‍රබලව මතුවී තිබෙන බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
ඊට අමතරව තවත් මාස තුනක කාලයක් පුරාවට සමාජය දැඩි අවධානයකින් සිටිය යුතු බවත් කොරෝනා අවසන් ආසාදිතයා හඳුනාගන්නාතුරු එම අවධානය සමාජය තුළ තිබිය යුතු බවත් එසේ නොවුණහොත් යළිත් යම් පුද්ගලයකුගෙන් කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් ඇතිවිය හැකි බවත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.
ඇඳිරි නීතිය මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාවට නීතිමය රැකවරණයක් ලබාදීමට බවත් නිසි සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස්වලට රටේ පොදු මහජනතාව පෙලඹවීම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ බවත් ඊට ජනතා සහයෝගය මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය වන බවත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


