Type Here to Get Search Results !

ජනපතිගෙන් විශේෂ නිවේදනයක් ( නිවේදනය සහිතයි )


COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටිනවා.
“කොරෝනා වෛරසය අපේ පාලනය යටතේ තබා ගැනීමට රජයට හැකි වුණා. දැන් තිබෙන ලොකුම අභියෝගය කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම. ඇඟළුම් කර්මාන්තය යථා තත්වයට පත්වන්නට තව බොහෝ කාලයක් යාවි. සංචාරක ව්‍යාපාරයේත් සිදුව ඇත්තේ බරපතළ පසුබැස්මක්. අහිමි වූ ආදායම සහ රැකියා සංඛ්‍යාව ඉතා විශාලයි. පැරණි ආනයන ක්‍රමය තවදුරටත් ගෙන යන්න බැහැ. අප නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු විය යුතුයි. ඒ සඳහා සක්‍රීය ලෙස දායකවීමට බැංකු ක්ෂේත්‍රයට පිළිවන්”, ලෙස ජනපති එහිදී සඳහන් කළා.
advertisement
පශ්චාත් කොරෝනා සමයේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය උදෙසා සම්පාදිත වැඩසටහනට බැංකු ක්ෂේත්‍රය හවුල් කර ගැනීම සහ එහිදී බැංකු ක්ෂේත්‍රයට මතුව ඇති ගැටළු සාකච්ඡා කිරීම පිණිස අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා.
මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රමුඛ නියෝජ්‍ය අධිපතිවරු, රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ බැංකු සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීහූ ඊට එක්ව සිටියා.
කොරෝනා උවදුර ජය ගැනීම සඳහා සෞඛ්‍ය අංශය ඇතුළු පාලන තන්ත්‍රයේ සෑම පාර්ශ්වයක්ම මහත් කැපවීමෙන් වැඩකළ බව කී ජනාධිපතිතුමා බැංකු ක්ෂේත්‍රයෙන්ද එවැනිම දායකත්වයක් අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළා.
දැන් ප්‍රමුඛතම අවශ්‍යතාව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර රැසක් පවතින බවත් තේ වගාව ඇතුළු වැවිලි කර්මාන්තය, කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන, නිවාස සහ වෙනත් ඉදිකිරීම් කෘෂිකර්මය ආශ්‍රිත නිෂ්පාදන වටිනාකම එකතු කළ කුරුඳු, ගම්මිරිස් වැනි බෝග වර්ග ඉන් කිහිපය වන බවත් ජනපති එහිදී ප්‍රකාශ කළා.
මේ ක්ෂේත්‍රවල ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පහසු කොන්දේසි යටතේ ණය සපයන්නැයි ජනාධිපතිතුමා බැංකු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.
“වාහන සහ ප්ලාස්ටික භාණ්ඩ ආදිය ආනයනය සඳහා ණය දී පහසුවෙන් ලාභ උපයා ගැනීමේ රටාව තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. වැඩිපුර ණය සම්පාදනය කළ යුත්තේ අලුතින් හඳුනාගත් ප්‍රමුඛතා සඳහා. එසේ නැතිව ජනතාවටත්, ව්‍යාපාරිකයන්ටත් පැවැත්මක් නැහැ.ගොවීන් වැඩි පොළියට වෙළෙඳුන්ගෙන් ණය ගත් විට ඔවුන් වෙළෙඳුන්ගේ ග්‍රහණයට සහ සූරාකෑමට ලක් වෙනවා. එය හැම අතින්ම හානිකරයි. මහ ව්‍යාපාරිකයින්ට සේම සුළු ව්‍යාපාරිකයන්ට සහ ගොවීන්ටත් බැංකු උදව් කළයුතුයි. ”. යනුවෙන් සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ණය දුන් පසු ඉන් ප්‍රයෝජන ගන්නා ආකාරය නිරතුරුව විමර්ශනය කළයුතු බව පෙන්වා දුන්නා. අතීතයේ දී බැංකුවලින් ණය ගෙන නොගෙවා පැහැර හැර ඇති වැඩිදෙනා දුප්පතුන් නොව ධනවතුන් යැයි එතුමා සඳහන් කළා. මධ්‍යම පාන්තිකයන් උදෙසා නිවාස ඉදිකොට සහන මිලට ඒවා බෙදාදීමට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රතිඥා දුන් බව සිහිපත් කළ ජනාධිපතිතුමා එවැනි අවස්ථාවල මධ්‍යම පාන්තිකයනට අඩු පොළීයට ණය දීමේ වැදගත්කම අවධාරණය කර සිටියා.
සාකච්ඡාවට සහභාගී වූ ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය පළ කල බැංකු නියෝජිතයෝ බැංකු ක්ෂේත්‍රය මුහුණපාන ගැටලු කිහිපයක් ඉදිරිපත් කළ අතර, මහ බැංකුව සමග සාකච්ඡා කොට ඒවා නිරාකරණය කර ගැනීමට එකඟත්වය පළ කළා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියා.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads