Type Here to Get Search Results !

ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක්.. ඉතා වේගයෙන් පැතිරේ..


ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක් ආසාදිත පුද්ගලයන් මෙරටින් වාර්තා වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ මේ වන විට මෙම නව කොවිඩ් වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය යන රටවලින් පමණක් බවය.

මෙරටට විදේශයක සිට පැමිණි පුද්ගලයකුගෙන් මෙම නව වයිරසය හඳුනාගෙන ඇති බව කියයි.

පසුගිය සති දෙක ඇතුළත විදේශයේ සිට පැමිණි අයගේ සහ ලංකාවේ විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී එකතු කරගන්නා ලද කොවිඩ් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී මෙම වයිරසය හමු වී තිබේ.

වයිරසය එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වූ නව කොවිඩ් වයිරසයට වඩා වෙනස් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේය. එය B 1.258 ලෙස හැඳින්වේ.

එසේම මෙය ප්‍රතිදේහජනක පරීක්ෂණවලට හසු නොවන බවද වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

කෙසේ වුවත් මෙම වයිරසය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට කටයුතු කෙරේ.

මේ ගැන බියට පත් නොවන ලෙසද ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

එම වයිරසය දැනට වාර්තා වී ඇත්තේ එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය ප්‍රංශය, චෙක් සමූහාණ්ඩුව, ස්විට්සර්ලන්තය පෘතුගාලය, අයිස් ලන්තය ඇතුළු යුරෝපා කලාපයේ රටවල්වලින් බව ලොව ප්‍රකට නේචර් වෙබ් අඩවිය සඳහන් කරයි.

එය වැලඳී ඇති බවට සැකකරන රෝගීන් පිරිසක් එක්සත් ජනපදයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් හමු වී ඇත.

කෙසේ වෙතත් මෙම නේචර් වෙබ් අඩවියේ පළකොට ඇති ව්‍යාප්තියට අදාළ සිතියමට අනුව ඊට ගොදුරු වූ රෝගීන් තිදෙනකු ලංකාවෙන් වාර්තා වී ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads