කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක් රෝහල් කාමරයක අභිරහස් අන්දමින් පෙරේදා (10) මියයෑම සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අඹන්පොළ බැලූන්ගල පන්සල පාරේ පදිංචිව සිටි 28 හැවිරිදි විවාහක කාන්තාවකි.
හෙද නිලධාරිනිය රෝහලේ 40 වැනි වාට්ටුවේ සේවයට පැමිණ එහි කාමරයකට ගොස් බිමවැටී සිටියදී හෙද නිලධාරිනියක දැක පසුව ඇය රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය වෙත ඇතුල් කළ අවස්ථාවේ මියගොස් තිබේ.
මැය කිසියම් එන්නතක් ශරීරගත කර ගැනීමෙන් මෙය සිදුකර ගන්නට ඇතැයි සැකකරන බව රෝහල් ප‍්‍රකාශිකාවක් පැවසුවාය.
පෙරේදා (10) ඇය සේවයට විත් තම සහෝදර නිලධාරිනියන්ට පිටතට ගොස් පැමිණෙන බව පවසා කාමරයට ගොස් එන්නත විදගන්නට ඇතැයි සැකකරන බවද එම ප‍්‍රකාශිකාව කියා සිටියාය.
මෙම සිදුවීම පසුපස අනියම් සම්බන්ධයක් පැවතියේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ අංශවලට සැකයක් මතුව තිබේ.
මියගිය හෙද නිලධාරිනියේ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (11) කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඞ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැත්විණි. මරදාන පොලිසියේ පොලිස් කොස්තාපල් මර්වින් මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි.


