Type Here to Get Search Results !

බැසිල්ට කිසිම සුදුසුකමක් නෑ.. ඔහු ලංකාවට එරෙහිව අවි දරන්න සූදානම්… ඇමතිකම අත්හිටුවන්න..- විජේදාස අධිකරණයේ සාක්‍ෂි දෙයි..


ඇමරිකානු නීතිය හා මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ දිවුරුම් ලබාදී පුරවැසි භාවය ලබාගත් ඕනෑම අයෙකු අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ආයුධ අතට ගෙන රට වෙනුවෙන් ඕනෑම රටක් සමග කටයුතු කිරීමට බැඳී සිටින බැවින් එලෙස දිවුරුම් ලබාදී ඇති බැසිල් රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ කටයුතු කරනුයේ කෙසේ දැයි විමසා බැලිය යුතු බව ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේය.

පුරවැසි පනත අනුව මෙරට කිසිදු සම්පත් දැරීමට සුදුසුකම් නොමැති අයකු වන බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු හා මුදල් ඇමැතිවරයා ලෙස පත්වීම දිවුරුම්දීම හා කටයුතු කිරිම බලරහිත කරන ලෙස ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනකු විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එලෙස අධිකරණයට පෙන්වා දුන්නේය.

එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු ම`ඩුල්ල හමුවේ කැඳවිණි. ඇමරිකානු පුරවැසියකු ලෙස දිවුරුම් ලබාදී ඇති බැසිල් රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකු ලෙස හා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම එය රටට ඉතා අගතිදායක වන්නේ යැයි ද විජයදාස රාජපක්ෂ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

පෙත්සම්කරුවන් අධිකරණය නොමඟ යවමින් කරුණු ඉදිරිපත් කර ඇති බවත්, ජනාධිපතිවරයා විසින් පත්කළ පත්වීමකට එරෙහිව නියෝග දීමේ බලයක් අධිකරණයට නොමැති බවත් අධිකරණයට කියා සිටි නීතිපතිවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙරින් පුල්ලේ මහතා මුල් අවස්ථාවේම එම පෙත්සම ප‍්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.

එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 07 වැනිදා යළි කැඳවීමට නියෝග කළ විනිසුරු ම`ඩුල්ල පෙත්සමේ වගඋත්තරකරු ලෙස පෙනී සිටි බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොතිබීම නිසා ඔහුට නොතිසි දන්වා යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළහ.

ඒ.ජේ.ඒ. අබේනායක
– divaina


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads