Type Here to Get Search Results !

හෙදියන් නිල ඇදුමින් මාලිමා රැස්වීමේ.. මැතිවරණ කොමිසමට පැමිණිලි..


 ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ (28 වැනිදා) පැවැති “ජාතික සමස්ත ලංකා හෙද සමුළුව“ සඳහා හෙද හෙදියන් සිය නිල ඇඳුමින් පැමිණ සිටීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CAFE) සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිලි කර ඇත.


මෙලෙස හෙද හෙදියන් නිල ඇඳුමින් පැමිණ සිටීම පොදු දේපළ පක්ෂ දේශපාලනය සඳහා යොදාගත් අවස්ථාවක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් පවසන්නේය.


හෙද සේවා වෘත්තීය නිල ඇඳුම මහජන මුදල් වැයකර එම වෘත්තියට ලබාදෙන වරප්‍රසාදයක් බවත්, එවැනි තත්ත්වයක් තුළ එම නිල ඇඳුම දේශපාලන කාර්යයන් සඳහා යොදා ගැනීම ආයතන සංග්‍රහය අනුව සහ මැතිවරණ නීතිය අනුව වැරදි ක්‍රියාවක් බවත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ.


රටක පුරවැසියන් ලෙස ඕනෑම තැනැත්තකුට සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය හා ඕනෑම දේශපාලන අයිතියක් වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව පැවතිය ද වෘත්තීය නිල ඇඳුමින් සැරසී එම ක්‍රියාමාර්ගවල නිරතවීම රජයේ සේවකයන් ලෙස නීතිවිරෝධී හා සදාචාර විරෝධී බව ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.


හෙද හෙදියන් මෙම සමුළුව සඳහා නිල ඇඳුමින් සහභාගිවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස ද විධායක අධ්‍යක්ෂවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.


මේ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායකගෙන් කරන ලද විමසීමේදී කියා සිටියේ මෙම පැමිණිල්ල සම්බන්ධව සොයා බැලීමට කටයුතු කරන බවය.


මේ අතර සමස්ත ලංකා හෙද සංගමයේ 16 වැනි ජාතික මහා සමුළුවට සහභාගී වන සියලුම හෙද හෙදියන්ට රාජකාරී නිවාඩු ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ලිඛිතව රෝහල් වලට දැනුම් දී ඇත.


තවද රාජ්‍ය සේවකයන් සඳහා හිමි නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර ලබාදීමටද කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යොමු කළ ලිපියේ දැක්වේ.


– Aruna

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads