සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පසුගිය (27) වන දින රාත්‍රියේ ගම්පොළ නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ දී ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභාපතිවරයා ඔහුගේ ආධාරකරුවන් බව පැවැසෙන කණ්ඩායමක් සමඟ කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.
පොලිස් වාර්තා අනුව, සිද්ධියට මුල් වී ඇත්තේ පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන්වරයෙකු විසින් රාත්‍රියේ දී මාර්ගයක් ආසන්නයේ හිමිකරුවකු නොමැතිව පැය ගණනාවක් නවතා තිබූ ත්‍රිරෝද රථයක් නීත්‍යනුකූල ආකාරයට අයිතිකරුවකු නොමැති දේපළක් ලෙස පොලිස් ස්ථානයට භාර දීමයි.
පසුව එම රාත්‍රියේම තරුණයන් තිදෙනෙකු පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ, “කවුද යකෝ අපේ ත්‍රිවිල් එක පොලිසියට අරගෙන ආවේ? උඹලට අයිතියක් තියෙනවද අපේ ත්‍රීවිල් එක පොලිසියට අරගෙන එන්න.” යනුවෙන් කෑකෝ ගසමින් හා කලහකාරී ලෙස හැසිරී ඇත. මෙහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් එම තරුණයන් තිදෙනා පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා බීමතින් සිටින්නේදැයි තහවුරු කර ගැනීම සඳහා නව කුරුඳුවත්ත රජයේ රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර ඇති අතර, වෛද්‍යවරයා විසින් ඔවුන් තිදෙනාම බීමතින් සිටින බවට තහවුරු කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා අතර සභාපතිවරයාගේ පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සිටින බව දැනගත් ප්‍රාදේශීය සභා සභාපතිවරයා, ඔහුගේ ආධාරකරුවන් යැයි කියන කණ්ඩායමක් සමඟ පොලිස් ස්ථානයට පැමිණ ඇත.
එහිදී සභාපතිවරයා තම පුත්‍රයාට පොලිසියෙන් පහර දුන් බවට චෝදනා කරමින්, පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. පසුව සභාපතිවරයාගේ පුත්‍රයා රෝහලට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ සභාපතිවරයාගේ පුතාට පහර නොදුන් බවත්, සභාපතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්ය.