සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස බල කරමින් විපක්ෂය සහ විවිධ සංවිධාන රජයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව වාර්තා වේ. ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (ලක්ෂ 25ක) ණය මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීමට නම් ලේකම්වරයා වහාම ඉවත් කළ යුතු බව විපක්ෂය පෙන්වා දෙයි.
මුදල් අමාත්‍ය ධුරය හොබවන ජනාධිපතිවරයාද මෙම සිදුවීමට වගකිව යුතු බැවින් ඔහුද එම ධුරයෙන් ඉවත් විය යුතු බව දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන ප්‍රකාශ කර ඇත.
ලේකම්වරයා සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග කඩ කර ඇති බැවින්, ඔහුට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කරන ලෙස මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
මෙම වංචාව ගෙවීම් වාර දහයකදී සිදුව ඇති බවත්, මේ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ලේකම්වරයාට මාසයක කාලයක් ලබාදීම වැඩි බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දෙයි.
එසේ වුවද, භාණ්ඩාගාර ලේකම්වරයා ධුරයෙන් ඉවත් කිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, ඒ පිළිබඳ රජය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් පවා සිදුව නොමැති බවත් ජාතික ජන බලවේගයේ මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ඉල්ලීම් කිරීමට විපක්ෂය සූදානමින් සිටී.


