සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පසුගිය වසර 76ක කාලය පුරා මෙරට ජනතාව නඩත්තු කළේ විදේශයන්ගෙන් ලබාගත් ණය මුදල්වලින් වුවද, වර්තමාන රජය එම ක්‍රමය වෙනස් කර රට තුළ උපයන මුදලින් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ජන හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා රජය මේ වන විට විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බවයි.
"අවුරුදු 76ක් ලෝකෙන් ණයට අරන් තමයි අපිට කන්න දුන්නේ. දැන් අපි රටේ හම්බ කරලා ජනතාවට කන්න දෙනවා. ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳන්න මුදල් වෙන් කරනවා," යැයි ඔහු එහිදී සඳහන් කළේය.
පසුගිය පාලන යුගයන් සහ වර්තමාන පාලනය අතර පවතින වෙනස පෙන්වා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පෙර පැවති පාලකයන් භාණ්ඩාගාරය කොල්ලකෑ බවත්, වර්තමාන රජය භාණ්ඩාගාරය ආරක්ෂා කරමින් ජනතාවගෙන් එකතු වන බදු මුදල් විනාශ නොකර කළමනාකරණය කරන බවත්ය.
"මේවා ඔබේ මුදල්, මහජන මුදල්. මේ බදු සල්ලි වෙනදා තිබුණේ නැහැ. ඔවුන් භාණ්ඩාගාරය හොරකම් කළා, අපි භාණ්ඩාගාරය ආරක්ෂා කරනවා. මේ ලැබෙන මුදල් අපේ මුදල් නෙවෙයි, ඔබ මහන්සියෙන් හම්බ කරපු ධනය. ඔබ දහඩිය ශ්‍රමය වගුරුවලා, වී මිටි සියයක් විකුණලා හම්බ කරන මුදලට මේ මුදල් සමානයි. ඒ නිසා මේ මුදල් නාස්ති කරන්න එපා," යැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
රටේ මහජනතාව සාධාරණව උපයන ධනය විධිමත් ලෙස කළමනාකරණය කරමින් වියදම් කරන ආණ්ඩුවක් දැන් පවතින බවත්, විවිධ පාර්ශවයන් ආණ්ඩුව පෙරළීමට හෝ වෙනස් කිරීමට උත්සාහ කළද, පවතින ක්‍රමවේදයේ සාර්ථකත්වය පිළිබඳව ජනතාව අවබෝධයෙන් පසුවිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


