අම්මාගේ සුරතේ එල්ලී එහෙට මෙහෙට දුව පනිමින් කලාවේ ‘අ’යනු ‘ආ’යනු කියූ ඇය පසුකාලීනව දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූවාය. ඇය මේ වන විට සම්මානනීය රංගන ශිල්පිනියක්ද වී හමාරයි. ඇය නමින් තිසුරි යුවනිකා. කාර්යබහුලත්වය පසෙක තබා අප සමඟ දොඩමළු වන්නට තරම් ඇය නිහතමානී වුණා.
මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් ගොඩක් සතුටුයි. මොකද ලංකාවේ දවසකට ටෙලිනාට්‍ය රාශියක් විවිධ නාලිකාවල විකාශය වෙනවා. ඒ අතර මට වඩා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ඒ නිර්මාණවල හොඳ රංගනයක නියැළෙනවා මමත් දැකල තියෙනවා. ඉතින් ඊටත් වඩා විශිෂ්ඨ ලෙස මම රංගනයේ යෙදිලා තියෙනවා කියලා දැනෙද්දි මට හරිම සතුටුයි. ඇත්තටම ගොඩාක් සතුටුයි.
ඔබ මේ තැනට ආවේ සෙදෝනාගේ චරිතයට මිණි ගංදෑල ටෙලි නාට්‍යයෙන් කියලා මම පැවසුවොත් හරිද?
ඇත්තමට සෙදෝනාගේ චරිතය මට ලොකු කඩඉමක්. මට සෙදෝනාගේ චරිතයෙන් ලොකු දෙයක් කරන්න තිබුණා. ඒ කරපු කැපවීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මම අද මේ තැනට ඇවිත් තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා.
තිසුරි ඔබ චරිතය ආරූඪ කරගන්නේ මොන විදියටද?
මම මුලින්ම කරන්නේ පිටපත හොඳට කියවලා අවබෝධ කරගෙන පිටපත් රචකයා, අධ්‍යක්ෂවරයා සමඟ මේ චරිතය ගැන කතාබහ කරන එක.
ඒ විතරක් නෙවෙයි නිර්මාණයෙදි මම එක්ක සම්බන්ධ වෙන අනෙකුත් ශිල්පීන්ගෙන්ද ලොකු සහයෝගයක් ලැබුණා. මගේ චරිතය සාර්ථක කරගන්න. ඉතින් මේ සියලුම දෙනාගේ ශක්තියත් එක්ක මම මගේ චරිතයට වගේම නිර්මාණයටත් කැපකිරීමක් කළා කියලා මට හිතෙනවා.
ඔබ වගේම ඔබේ සහෝදර ඇතැම් ශිල්පීන් චරිතය වෙනුවෙන් කැපකිරීම් කරනවා. හැබැයි අතරමඟදී නිර්මාණයෙන් පැනල යනවා?
කවදාවත් මම එහෙම කරන්නේ නැහැ. මම මගේ වෘත්තියට ආදරෙයි. අපට නිර්මාණයකින් ආරාධනා කරන්නේ ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය රකිනවා මම. හැබැයි සමහර අවස්ථාවල නිර්මාණයේ ඉන්න බැරිම අවස්ථාවක් ආවොත්, විවේකයක් ගන්නවා. මොකද මිනිස්සුන්ගේ ජීවිතයේ කරදර එන්නේ කිය කියා නෙවෙයි. එවැනි ප්‍රශ්නයක් මත ලෙඩක් දුකක් ඇතිවුණොත් ඉතින් සාධාරණ හේතූන් මත නිර්මාණයෙන් තාවකාලිකව සමුගන්න වෙනවා.
අතිවිශිෂ්ට චරිත මවන අතර දැන් මෙගාවලටත් හිරවෙලා නේද?
මම ගොඩක් ආශාවෙන් කරන්න හිටිය චරිතයක් තමයි ඔබ නිසා නාට්‍යයේ කරන්න ලැබුණෙ. ඉතින් චරිතයේ තිබෙන සරල බව නිසා මට ඒ චරිතය කරන්න ආශා හිතුණා. ‘ඔබ නිසා’ ටෙලිනාට්‍යයේ මගේ චරිතය වෙනුවෙන් විවේචන පවා එල්ලවෙනවා. සමහරු අහනවා ඇයි මේ වගේ චරිත කරන්නේ කියලා. මම වෘත්තීය රංගන ශිල්පිනියක්. ඉතින් මම ගොඩක් කැමැති විවිධාකාර චරිත නිරූපණයන් කරන්න. මම කැමැති නැහැ රාමුවකට කොටුවෙලා ඉන්න. රංගන ශිල්පිනියක් වුණාම විවිධ චරිත රඟපාන්න ඕනා.
මේ දවස්වල නිර්මාණ තුනකින් අපි ඔබව දකිනවා. වැඩි ප්‍රතිචාර ගැන කතා කළොත්?
ගොඩ දෙනෙක් කතාවෙන්නේ ‘ඔබ නිසා’ ටෙලිනාට්‍ය ගැන තමයි. එයට අමතරව ‘පැණි කුරුල්ලෝ’, ‘හුස්ම වැටෙන මල්’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. එක චරිතයක් දරුවෙක් ඉන්න මවකගේ චරිතයක්. අනෙක් චරිතය ගෙදරක හිරකරලා ඉන්න යුවතියකගේ චරිතයක්. හොඳ නරක ප්‍රතිචාර දෙකම ලැබෙනවා.
මම හිතන විදියට නම් එහෙම චරිත බලාගෙන රඟපාන්න ගියොත් ගෙදරට වෙලා තමයි ඉන්න වෙන්නේ?
ඔව්, මම කලින් කිව්වා වගේ මම වෘත්තීය රංගන ශිල්පිනියක්. අනෙක දැන් එහෙම හොඳ නිර්මාණ හැදෙනවා අඩුයි. හොඳ නිර්මාණ නැහැ කියන්නේ නැහැ. හොඳ නිර්මාණයක් හැදිලා ඒකට මට ආරාධනාවක් නාවොත් මගේ වෘත්තියට මොකද වෙන්නේ? ඔන්න ඔය කරුණු කාරණා මම විශේෂ සැලකිල්ලට ගෙන තමයි දැන් වැඩකරන්නේ. හැබැයි මම දොඩම් ගොඩ බදාගත්තා වගේ ඉන්නෙ නැහැ. චරිත තෝරාගැනීමේ ගැටලුවලට මුහුණපාන්නත් සිද්ධ වෙනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
එහෙම විශේෂ බලාපොරොත්තු නැහැ. ගඟක් ගලාබසින්නේ ගල්පරවල වදිමින්. එවිට නැඟෙන බුබුළු චමත්කාරයි. අපේ ජීවිතත් අන්න ඒ වගේ.
ඔබේ ආදරණීය මව සුසන්තා චන්ද්‍රමාලි ආශාවෙන් ඉන්නවා මුණුබුරෙක් දකින්න?
පවුලක් වුණාම දරුවෙක් ඕනෙ තමයි. ඒ හැම දේම කාලයත් එක්ක සිදුවෙයි. මේ දවස්වල මම භාරගත්තු වැඩ ගොඩක් තියෙනවා. ඒ ටික ඉවර කරගන්න වෙනවා. එහෙම නැති වුණොත් ඒ නිර්මාණවල අධ්‍යක්ෂවරුන් අපේ ගේ ඉදිරිපිට ඉඳීවි, මාව හොයන්න ඇවිත්.