Type Here to Get Search Results !

කොරෝනා පරීක්‍ෂණ විශාල ප්‍රමාණයකින් අඩු කරලා… ආසාදිත සංඛ්‍යාලේඛණ වැරදියි..- GMOF


රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගිය මාසය පුරාවට පැවති නිරෝධායන අඳිරි නීතිය නාමිකව පමණක් ක්‍රියාත්මක වූ බව බිම් මට්ටමේ තත්වය විග්‍රහ කිරීමේ දී පැහැදිලි වේ. එහිදී අපේක්‍ෂා කල පරිදි 80% -90% පමණ සංචරණ සීමා පවත්වා ගැනීමක් සිදු නොවුන අතර ඉතා අඩු මට්ටමේ සංචරණ සීමාවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුනි. එබැවින් නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රායෝගික ව රට තුල ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු බලධාරීන් උනන්දු නොවුන තත්වය තුල කොවිඩි රෝග ව්‍යාප්තිය අප බලාපොරොත්තු වූ ලෙස මැඩ පැවැත්වීමට නොහැකි විය. තව සති දෙකක කාලයකින් සංචරණ සීමා දීර්ඝ කලද, මේ වනවිට බිම් මට්ටමේ සැබෑ ලෙසම ක්‍රියාත්මක වන සංචරණ සීමා සැලකීමේදී එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවනු ඇත. දැනට අප අත්විඳින තත්වය තුල පොදු ප්‍රවාහන සේවා හැර අනෙක් සියලු ප්‍රවාහන සේවා නිදහස්ව ක්‍රියාත්මක වන අතර ජනතාවගේ සංචරණය ද බොහෝ දුරට නිදහසේ සිදුවේ. එසේම අත්‍යශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සැපයීම ද බාධාවකින් තොරව සිදුවේ. මෙම තත්වය වහාම වෙනස් කිරීමට පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංසදය ලෙස අප ප්‍රකාශ කළ යුතුව ඇත.

වර්තමානයේ PCR සහ RAT පරීක්ෂණ සිදුකරන සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ඇත. එවැනි තත්වයක් තුල කොවිඩි ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩුවීම ද බලාපොරොත්තු විය හැක. එම නිසා මීට පෙර සිදුවූ පරිදි, කොවිඩ් වෛරස ව්‍යාප්නිය බොහෝ සෙයින් අඩුවී ඇතැයි ජනතාවට වැරදි ලෙස ඒත්තු ගැන්වේ. එවිට ජනතාව නිදහසේ සංචරණය කිරීමට පෙළඹීම තුල, පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූවා සේ ඉදිරි කාලයේදී කොවිඩි ව්‍යාප්තිය සීග්‍ර ලෙස වැඩිවීමේ අවදානමක් ඇත.

නැවත නැවතත් සෞඛ්‍ය අමාත්‍යාoශය ලබාදෙන දත්ත පිළිබඳව ප්‍රශ්නකාරී තත්ව උද්ගතවී ඇත. ඒ අනුව දෛනික ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාවන්ට දින කීපයක් පසු වී තවත් සංඛ්‍යාවන් එකතු කිරීම දිගින් දිගටම සිදුවේ. මෙවැනි වාතාවරණයක් තුල එම දත්ත පදනම් කරගෙන කොවිඩ් මර්ධනය පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී ප්‍රශ්නකාරී තත්ව උද්ගත විය හැක.

මේ දිනවල සෞඛ්‍ය අමාත්‍යංශයට අප රටේ දරුවන්ගේ කොවිඩි එන්නත්කරණය පිළිබඳව විද්වත් තාක්ෂණික කමිටු නිර්දේශ ලැබී ඇත. මෙහිදී වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා එන්නත්කරණය පිළිබඳ තීරණ ගැනීමට පෙර ඒ ගැන ලෝකයේ අනෙක් රටවල සිදු කරන ලද සායනික පරියේෂණ වාර්ථා ලැබෙන තෙක් සිටීම වැදගත් වේ.

දරුවන්ගේ කොවීඩි එන්නත්කරණය පිළිබඳව දැනට ලෝකයේ ඇති නවීන දැනුම සහ අත්දැකීම් ගැන විවෘත මනසකින් විමසා බලා කටයුතු කිරීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස ප්‍රකාශ කල යුතුය.

එමෙන්ම දරුවන් එන්නන් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාoශය විසින් විධිමත් හා පාරදෘශ්‍ය එන්නත්කරණ වැඩසටහනක් සැලසුම් කල යුතුය. එය ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැරිය යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස අපි තරයේ විශ්වාශ කරමු.

වෛද්‍ය කමල් ඒ. පෙරේරා
ලේකම්
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads