Type Here to Get Search Results !

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය තොරතුරු පනතින් ඉල්ලුවත් නොදෙයි.. මහින්ද, මෛත‍්‍රි, ගෝටා, රනිල් සියල්ල හෙලි කරලා..


 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.


මහජන මුදලින් වැටුප් ලබන, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු හා චම කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලබා දෙන වැටුප්, දීමනා සහ වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති RTIC/Appeal/405/2025 දරන අභියාචනයට අදාළව මෙම නොතීසිය නිකුත් කර ඇත.


2025.01.29 දිනැති තොරතුරු අයදුම්පතමගින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම තොරතුරු ඉල්ලා සිටි අතර, මාස දෙකකට අධික කාලයක් ගත වුවද එයට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා අයදුම්කරු විසින් මෙම අභියාචනය ඉදිරිපත් කෙරිණි.


මේ ආකාරයෙන් ඉල්ලා සිටි තොරතුරු අතර 9 වන විධායක ජනාධිපතිවරයාගේ (වර්තමාන) පුද්ගලික කාර්යමණ්ඩලය ලෙස කොපමණ පුද්ගලයන් ප්‍රමාණයක් සේවයට බඳවා ගෙන හෝ යොදවා තිබේද? එසේ සේවයේ යෙදවූ අය බඳවාගෙන ඇත්තේ කවර තනතුරු සඳහාද? ඔවුන්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් මාසිකව කොපමණ මුදලක් වැය වේද? ඔවුන් වෙනුවෙන් කොපමණ වාහන ප්‍රමාණයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දී තිබේද? චම වාහන වල වර්ගය හා ඒ ඒ වාහන පරිහරණය සඳහා ලබා දී තිබෙන්නේ කවුරුන් සඳහාද යනාදී තොරතුරු ඇතුළත් වේ.


එමෙන්ම ජනාධිපති ධුර කාලයට පමණක් සීමා වන පත්වීම් ලබාදුන් නිලධාරීන් විසින් (හිටපු ජනාධිපතිවරයාගේ) 2024 සැප්තැම්බර් 23 දින සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අමාත්‍යාංශ මොනවාද යන්න හා ඒ ඒ ආයතන හා අමාත්‍යාංශය සඳහා ලබාදුන් වාහන වල අංක සහ වාහන වර්ගය යනාදී තොරතුරුද එම ඉල්ලීමට ඇතුළත් වේ.


2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධාන අනුව යම් පොදු අධිකාරියක් වෙතපුරවැසියෙකු විසින් තොරතුරු ඉල්ලීම් පතක් යොමු කළ විට එම අයදුම්පත ලැබුණු බව දැන්විය යුතුය. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් 2025.01.30 දිනැතිව PS/RTI/01/2025/35 යන ලිපිය මගින් ඒ බව දන්වා තිබේ. නමුත් එම පනතේ විධාන අනුව වැඩ කරන දින 14 ක් තුළ තොරතුරු ලබා දිය යුතු අතර, එසේ නොහැකි නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලූම්කරු දැනුවත් කළ යුතුය. නමුත් නිසි පරිදි තොරතුරු පනතේ එම ව්‍යස්ථාපිතනියමයන් අනුගමනය නොකළ හෙයින් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නම් කළ නිලධාරියා වෙත 2025.02.20 දිනැතිව අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නම් කළ නිලධාරීයා විසින් 2025.02.25 දිනැතිව ලිපි අංක PS/RTIA/11/2205/06 යටතේ අදාළ අභියාචනය ලැබුණු බව පමණක් දන්වනු ලැබුවත් අදාළ තොරතුරු ලබා දීමට කටයුතු නොකරන ලද හෙයින් මේ සම්බන්ධයෙන් 2025.03.27 දිනැතිව ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කෙරිණි.


විශේෂයෙන්ම මීට පෙර බලයේ සිටි මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල තොරතුරු, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ලබාගෙන ඒවා මෙරට පුරවැසියන්ගේ දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කර තිබේ. එසේ වූ පසුබිමක මෙම තොරතුරු ලබාදීමේ කිසිදු නෛතික බාධාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට නොමැති බව මැනවින් පෙනී යන කරුණකි.


රාහුල් සමන්න හෙට්ටිආරච්චි

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads