සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම මහ බැංකුවේ පවතින දීර්ඝකාලීන අභ්‍යන්තර පාලන දුර්වලතාවල ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය නොවැම්බර් මාසයේදී සිදුකළ ගෙවීම් හයකින් දෙකක් ප්‍රතික්ෂේප වූ අවස්ථාවේදී ඒ පිළිබඳව සැකයක් ඇති කරගෙන විධිමත් විමර්ශනයක් සිදු කිරීමට මහ බැංකුවට අවස්ථාව තිබූ බවයි.
එහෙත් එම අවස්ථාවේදී ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වූ බව ඔහු සඳහන් කළේය.
මෙම පද්ධතිමය දුර්වලතා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඇති වූ ඒවා නොව, වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
විශේෂයෙන්ම ගිණුම් අංක මාරු කිරීම වැනි තොරතුරු තහවුරු කරගැනීම සඳහා විධිමත් කාර්ය පටිපාටියක් මහ බැංකුව සතුව නොතිබූ බවත්, මෙය කාලාන්තරයක් තිස්සේ පැවති 'අභ්‍යන්තර පාලන අසාර්ථකත්වයක්' බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය මෙම සිදුවීම පිළිබඳව දැනගත් වහාම විවිධ උපක්‍රම සහ නව ක්‍රියාමාර්ග ඔස්සේ ඒ පිළිබඳව කටයුතු කළ බවත්, ඒ පිළිබඳව මුදල් කාරක සභාව දැනුවත් කර ඇති බවත් ඔහු පැවසීය.
රටේ ආර්ථිකය මේ වන විට ශක්තිමත් වෙමින් පවතින බවත්, 2016 වසරේ සිට යාවත්කාලීන නොවූ පද්ධති නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය ඔස්සේ විධිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


