Type Here to Get Search Results !

නාමල්ගේ මගුල් ඇඳුම හමීඩියාස් එකෙන් මැහුවේ ඇයි?

Top Post Ad


පසුගිය වසර කිහිපය පුරා ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධය යම් ආකාරයකින් ක්‍රියාත්මක වූ නමුත් එහි උපරිමය එළැඹුණේ පාස්කු ප්‍රහාරයට පසුවය. පාස්කු ඉරිදා ප්‍රහාරයට සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධ බව දැනගැනීමත් සමඟම තමන් එතෙක් දැරූ මතය සත්‍ය බව සමාජයට ඒත්තු ගැන්වීම මුස්ලිම් විරෝධීන්ගේ ප්‍රධානම උත්සාහය විය. ඔවුන් සමාජයට එල්ල කළ ප්‍රබලම බලපෑම වූයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතුය යන්නය. මෙරට ප්‍රධාන පෙළේ මුස්ලිම් ව්‍යාපාර සියල්ලේම නම් ජනතාවගේ දැනගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාප්ත විය. කලින් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත්ව තිබූ නමුත් වර්තමානය වන විට වෙනත් හිමිකරුවන්ට අයත් ව්‍යාපාර කිහිපයක්ද ඒ ලැයිස්තුවේ විය. එලෙස එල්ල කළ බලපෑම කෙතරම් වීද යත් ඒ ව්‍යාපාර සියල්ලම විශාල පරිමාණයෙන් පාඩු ලබන තත්ත්වයට පත්විය. එලෙස වර්ජනය කළ ව්‍යාපාර අතර ඉදිරියේම තිබුණේ ආහාර සහ රෙදිපිළි කර්මාන්තයට අයත් ව්‍යාපාරයන්ය.

මුස්ලිම් ජාතිකයන්ට අයත් ආහාර වෙළෙඳසල් තුළ සිංහල ජාතිකයන් සඳහා වඳ බෙහෙත් යෙදූ ආහාර ලබාදෙන බව පාස්කු ප්‍රහාරයට පෙර සිටම මුස්ලිම් විරෝධීන් රට පුරා ගෙනගිය මතයක් විය. එමෙන්ම මුස්ලිම් ජාතිකයන්ට අයත් රෙදිපිළි වෙළෙඳසල්හි අලෙවියට තබා ඇති ඇඟලුම්වල වඳ බෙහෙත් ගල්වා ඇති බවද ඔවුන්ගේ මතය විය. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් ප්‍රධාන පෙළේ රෙදිපිළි වෙළෙඳසල් වෙත යන සිංහල ජාතිකයන්ට බිත්තර ප්‍රහාර එල්ල කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක්ද මීට වසර කිහිපයකට පෙර ක්‍රියාත්මක විය.
ෆව්සුල් හමීඞ් මහතාට අයත් ‘හමිඩීයාස්’ ආයතනයද පාස්කු ප්‍රහාරයෙන් පසු වර්ජනය කළ යුතු යැයි මුස්ලිම් විරෝධීන් ප්‍රකාශ කළ ආයතන අතර ඉදිරියේම විය. මේ අතර පසුගියදා විවාහ වුණු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තම විවාහ ඇඳුම සකස් කරගෙන ඇත්තේ එකී ‘හමීඩියාස්’ ආයතනයෙන් බව ප්‍රචාරය වීම බොහෝ දෙනකු විමතියට පත් කළ සිදුවීමක් විය. තමාගේ මංගල ඇඳුම තමන්ට රිසි තැනකින් මසා නිමකර ගැනීමේ අයිතිය නාමල් රාජපක්ෂ මහතාට තිබෙන බවට කිසිදු විවාදයක් නැත. නමුත් නාමල්ගේ ඇඳුම ‘හමීඩියාස්’ වෙතින් සකස් කරගැනීම විමතියට කරුණක් වන්නේ නාමල් රාජපක්ෂ පිටුපස සිටින නඩයේ දේශපාලන භාවිතාව මතය.
පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතිවූ දැඩි මුස්ලිම් විරෝධය මෙහෙයවීම පිටුපස ක්‍රියාත්මක වූ ප්‍රධානම දේශපාලන බලවේගය වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පොදුජන පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකයෝ ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටියහ. සමාජ මාධ්‍ය ඔස්සේ මුස්ලිම් විරෝධී ජන මතය හැඩගැස්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ය. තම මතය ප්‍රකාශ කිරීම සඳහා ඔවුහු සියලු දෙනාම ප්‍රසිද්ධියේ පෙනීසිටියහ. වඳ සැත්කම් සිදුකළා යැයි චෝදනා එල්ල වූ මොහොමඞ් ෂාෆි පිළිබඳ දැඩි කතාබහක් සමාජය තුළ ඇතිකිරීම වෙනුවෙන් පෙනී සිටියේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ය. එමෙන්ම ඉදිරියේදී තමන් පිහිටුවන ආණ්ඩුවකට කොයි ලෙසකින්වත් රිෂාඞ් බදුර්දීන් වැනි මුස්ලිම් නායකයන් එකතු කර නොගන්නා බවද පොදුජන පෙරමුණේ නායකයෝ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ.
මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතු බවට සමාජය පුරා පැතිර යන මතය තමන්ද අනුමත කරන්නේ යැයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් සිදුකළ ප්‍රකාශයද රට තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකිරීමට සමත් විය. සියලු දෙනාට සම සේ සැලකිය යුතු බවට වන බුද්ධ වචනය දේශනා කරන නායක හිමිනමක් මේ ආකාරයේ අදහස් දැක්වීම බොහෝ දෙනකුගේ විවේචනයට හේතු වූ අතර ඒ අවස්ථාවේ ඥානරතන හිමියන්ගේ මතය සාධාරණීකරණය කිරීම වෙනුවෙන් පෙනී සිටියේද පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුය. වගකිව යුතු හිමිනමක් වශයෙන් අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් කළ ප්‍රකාශය හෙළාදකින බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකළ ප්‍රකාශයට විරුද්ධව දැඩි ආවේගයකින් යුතුව කතා කළේද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුය.
තම මංගල ඇඳුම මැසීම සඳහා නාමල් රාජපක්ෂ මහතා හමීඩියාස් වෙත පානඟන්නේ මෙවන් පසුබිමකය. නාමල් රාජපක්ෂ මහතාගේ ඇඳුම සකස් කරන අවස්ථාවේ පූර්ව දර්ශන ඇතුළත් වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නේ හමීඩියාස් ආයතනය විසින්මය. නාමල්ගේ මංගල ඇඳුම සකස් කිරීමේ කටයුතු සඳහා හමීඩියාස් ප්‍රධානියා වන ෆව්සුල් හමීඞ් මහතා මහත් උනන්දුවෙන් කටයුතු කරන ආකාරයද වීඩියෝවේ සටහන්ව ඇත. රටේ ප්‍රධාන පෙළේ පුද්ගලයන්ගේ එවැනි වීඩියෝ තම නිල යූටියුබ් චැනලය හරහා ප්‍රචාරය කිරීම හමීඩියාස් වැනි ප්‍රධාන පෙළේ ආයතනවල සාමාන්‍ය සිරිතය. එබැවින් හමීඩියාස්, නාමල්ගේ වීඩියෝ පටය නිකුත් කිරීමේද එතරම් විශේෂත්වයක් නැති නමුත් එය පාරාවළල්ලක් වී ඇත්තේ මුස්ලිම් විරෝධය පිළිබඳ දැඩි හඬක් නැඟූ නාමල්ලාගේ අනුගාමිකයන්ටය.


මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතු බවට දැඩි මතයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යද්දී ඊට එරෙහිව හඬ නැඟූ බොහෝ පිරිසක්ද සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය. එම පිරිසගේ අදහස වූයේ සුළුතර ත්‍රස්තවාදීන් පිරිසක් සිදුකළ ක්‍රියාවකට බහුතර අහිංසක මුස්ලිම් ජනතාව වගකිව යුතු නැති බවය. එමෙන්ම ඒ ආකාරයෙන් මුස්ලිම් ජනතාව කොන්කිරීම එක් අතකින් ත්‍රස්තවාදයට අනුබල දීමක් බවද එම පිරිසගේ අදහස විය. නමුත් තම මතය සමාජගත කිරීමේදී ඔවුන්ට සිදුවූයේ මුස්ලිම් විරෝධීන්ගේ නිර්දය විවේචනයට ලක්වීමටය. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ තිත්ත කුණුහරුපෙන් එම පිරිසට බැණවැදුණු බොහෝ දෙනකු තම ෆේස්බුක් ගිණුම් ප්‍රධාන ඡායාරූපයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපය යොදා සිටි අය වීම විශේෂත්වයක් විය. නාමල් හමීඩියාස් වෙතින් මංගල ඇඳුම සකස් කරගැනීමෙන් දැඩි ලැජ්ජාවකට සහ අපහසුතාවකට පත්ව ඇත්තේ එම පිරිසය. සමාජ මාධ්‍ය ඔස්සේ මුස්ලිම් ව්‍යාපාර නැතිභංගස්ථාන කිරීමට දිවා රෑ වෙහෙසුණු ඔවුන් මේ දිනවල මීයට පිම්බා සේ නිහඬය. මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතු බව ඔවුනට මේ දිනවල අමතකවී ඇත. මුස්ලිම් ව්‍යාපාරිකයන් මසන ඇඳුම් ඇතුළේ සිංහල ජාතිය වඳකිරීම සඳහා වඳ බෙහෙත් ගල්වා ඇතැයි හඬ නැඟූ ස්වාමින් වහන්සේලාද නාමල්ගේ ඇඳුම ගැන හාවක් හූවක් නැත. විමල් වීරවංශ, උදය ගම්මන්පිල මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයෝද ඒ පිළිබඳ කිසිවක් කියන්නේද නැත.
මෙවැනි අවස්ථාවක හමීඩියාස් වැනි ආයතනයකින් තම මංගල ඇඳුම නිමකරවා ගැනීමට නාමල් රාජපක්ෂ මහතා ගත් තීරණය සැබැවින්ම අගය කළ යුතු එකක් බව අපේ අදහසය. එම තීරණය ගෝත්‍රික අදහස් දරන තම පාක්ෂිකයන් බහුතරයකගේ විවේචනයට හේතුවන්නක් බවද නාමල් හොඳකාරව දැන සිටින්නට ඇත. නමුත් නාමල්ගේ තීරණය ජාති ආගම් භේද පසෙකලා එක සමාජයක එකට ජීවත්වීමට කැමැති බොහා් දෙනකුගේ ප්‍රසාදයට හේතු වී ඇත.
මේ අතර නාමල් මේ ආකාරයෙන් හමීඩියාස් වෙතින් සිය මංගල ඇඳුම නිමකරවා ගැනීමද දේශපාලන උපක්‍රමයක් බවට මතයක්ද සමාජය තුළ ගොඩනැඟෙමින් ඇත. ඒ මතය දරන පිරිසගේ අදහස වන්නේ නාමල් මේ ආකාරයෙන් කටයුතු කළේ පොදුජන පෙරමුණ පිළිබඳ මුස්ලිම් සමාජයේ ඇති මතය වෙනස් කිරීමේ අරමුණෙන් බවය. ඒ සඳහා දැඩි ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කළේ ඒ හේතුවෙන් බවද ඔවුන්ගේ මතයවී ඇත.

Visit Now

Below Post Ad

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Ads