Type Here to Get Search Results !

රත්තරන් ගිනි අවිය හිටපු ප‍්‍රබල ඇමතිගේ.. අල්ලන්න පොලිසිය ඔහු පසුපස..


 හැව්ලොක්සිටි නිවාස සංකීරණයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් රන් ආලේපිත ටී පනස්හය ගිනි අවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම දේශපාලනඥයකුට අයත් එකක් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.


හිටපු ප්‍රබල අමාත්‍යවරයකු ද වන මෙම දේශපාලනඥයා මීට මාස හයකට උඩදී සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය හැව්ලොක් සිටි පදිංචි කාන්තාවගේ නිවසට යවා ඇත්තේ සඟවා තබන ලෙස උපදෙස් ලබා දෙමින් බව පොලිසිය හෙළි කරගෙන තිබේ.


මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ පදිංචි හැට අට හැවිරිදි කාන්තාව වෙත ගෙනවිත් බාරදුන් හිටපු ඇමතිවරයාගේ අරක්කැමියා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ සවස අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් තිබිණි.


විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම හිටපු ඇමතිවරයා හැව්ලොක් සිටි නිවසක පදිංචි හැට අට හැවිරිදි කාන්තාවගේ සමීපතම මිතුරෙකි. එම කාන්තාව මෙම අවිය සහිත බෑගය බාරගෙන ඇත්තේ එහි ටී පනස් හය ගිනි අවියක් තිබෙන බව නොදැන බව අනාවරණය වී ඇත.


මෙම බෑගය මාස හයක් තිස්සේ කාන්තාවගේ නිවසේ තිබී ඇති අතර පෙරේදා එම කාන්තාවගේ පුත්‍රයකු විනෝද චාරිකාවක් යෑම සඳහා මෙම බෑගය ගෙන තිබේ.


ඒ අවස්ථාවේ බෑගය සමග ගිනි අවිය කාන්තාව විසින් සිය මෝටර් රථයේ ඩිකියේ දමාගෙන ගොස් ඇත.


මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරීන් දැක ඇත්තේ ඒ අතරතුරදීය. පසුව ඔවුන් මේ බව වැල්ලවත්ත පොලිසිය වෙත දැනුම් දී තිබුණි.


පොලිස් නිලධාරීන් පැමිණ අවිය පරීක්ෂා කිරීමේදී එය සෙල්ලම් අවියක් නොවන බවත් නවීනපන්නයේ ටී පනස් අය ගිනි අවියක් බවත් හෙළිවී තිබේ.


ඒ අනුව මෙම අවිය සඟවාගෙන සිටි හැටඅට හැවිරිදි කාන්තාව සහ තවත් කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.


එහිදී කාන්තාව පවසා ඇත්තේ මෙම බෑගය හිටපු ඇමතිවරයාගේ අරක්කැමියකු විසින් තමන්ට භාර දුන් බවයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාද අත්අඩංගුවට ගැනීමට නියමිතය.



උතුරු මැද පළාත නියෝජනය කරන මෙම දේශපාලනඥයාගේ පියා ද ප්‍රබල දේශපාලඥයකු වන අතර ඔහු මේ වන විට ජීවතුන් අතර නැත. මෙම අවිය කුමන හේතුවක් නිසා මෙසේ සඟවා තැබුවේද, ඒ අවියෙන් කුමන අපරාධයක් සිදු කළේ ද යන්න සොයා පොලිස් විමර්ශන පැවැත්වෙයි.



වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.


හේමන්ත රන්දුණු

Divaina

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads