Type Here to Get Search Results !

හල්ලොලු වෙඩිල්ලේ සුලමුල එලියට.. වෙඩික්කරුවන්ට ලක්‍ෂ දෙකක් ගෙවලා..


2025.05.17 වන දින නාරාහේන්පිට පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තුසිත හල්ලොලුව නැමැති අය හා තවත් පුද්ගලයෙකු ගමන් කරමින් සිටි ජීප් රථයකට සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරමින් පවතී.

2025.05.27 වන දින වත්තල හා කිරුළපන ප්‍රදේශ වලදී කොළඹ දිසා අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු හා එම අපරාධයට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ජංගම දුරකථන 04 ක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකුරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.

සිද්ධිය සම්බන්ධ සියලුදෙනා ඉදිරි දින කීපය තුළ දී අත්අඩංගුවට ගන්නා බවත් විමර්ශන නිලධාරීහු පවසති.

හල්ලොලුව මහතාගේ මෝටර් රථයට වෙඩිතබා ලිපිගොනුව පැහැර ගත් කුලී වෙඩික්කරුවන් දෙදෙනාට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක් ගෙවා ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.

එම මුදල් ගෙවා ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල අපරාධකරුවකු බව කියන කෝපිකඩේ අප්පුවාගේ පුත්‍රයා විසින් බවත් එම මුදල් එවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ කුලී වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසයි.

සැලසුම් කළ පුද්ගලයන් සහ ඩුබායි පාතාලයන් අතර පවතින සම්බන්ධතාවද සොයාබලාගෙන යන බව විමර්ශන නිලධාරීහු පවසති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රීසියේ ව්‍යාපාරයක මුදල් ආයෝජන කළ බවට තුසිත හල්ලොලුව මහතා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර හල්ලොලුව මහතාගෙන් පැය 07ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම ප්‍රකාශය ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන් හල්ලොලුව මහතාට දැනුම් දී තිබිණි.

ඊට අවශ්‍ය සාක්ෂි තමන් සතු බවද හල්ලොලුව මහතා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබුණු නමුත් ඒ මහතා ගමන්ගත් මෝටර් රථයට නාරාහේන්පිට දී ප්‍රහාරයක් එල්ල වන්නේ මේ අතරතුර දීය.

හල්ලොලුව මහතා එහිදී කියා තිබුණේ තම රථයට වෙඩි තබා නාඳුනන පුද්ගලයන් එහි තිබූ රහසිගත ලිපිගොනුවක් පැහැරගෙන ගිය බවයි.

එම ලිපිගොනුවේ තිබී ඇත්තේ ජනාධිපතිවරයා මුදල් ආයෝජනය කළ බවට තිබුණු සාක්ෂි සහිත ලියකියවිලි බවද හල්ලොලුව මහතා පොලිසියට ප්‍රකාශ කර තිබිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙය වීමෙන් විමර්ශන පැවැත්වෙයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads