සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පවතින 'එල් නිනෝ' දේශගුණික තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම වේගයෙන් පහළ යමින් පවතින බැවින්, ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සැලසුම් කළ කාලයට වඩා සති දෙකක් කලින් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව අනාවරණය කළේය.
සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී ජලාශවල ජල මට්ටම අඩුවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, මෙවර එල් නිනෝ බලපෑම නිසා වාෂ්පීකරණය ඉහළ ගොස් ජලය සිඳී යාම වේගවත් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා මෝසම් වැසි කාලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් මහ කන්නය කල්තියා ආරම්භ කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම, ජලය විශාල වශයෙන් අවශ්‍ය වන වී වගාව වෙනුවට අඩු ජල ප්‍රමාණයකින් වගා කළ හැකි මුං ඇට වැනි අතිරේක බෝග සඳහා ගොවීන් උනන්දු කරවීමට ද රජය සැලසුම් කර ඇත. මුං ඇට වගාව මගින් පසට නයිට්‍රජන් එකතු වන අතරම, අතිරේක ආදායමක් ද ලබාගත හැකි බවත්, මේ වන විට මුං ඇට වලින් රට ස්වංපෝෂිත කර ඇති බවත් ආනයනය නතර කර මෙරට වගාව දිරිමත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම අතිරේක බෝග වගා කරන ගොවීන් සඳහා ද පොහොර සහනාධාර ලබා දීමට කටයුතු කරන බවත්, ජනාධිපතිවරයාගේ ද අවධානය යොමු වී ඇති මෙම වැඩපිළිවෙල හරහා පවතින ජල අර්බුදය හමුවේ වුවද සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


